Sunday, November 27, 2016

Cinema Paradiso - 1988


මාතර බීච්හට් එකක් යට ඉඳන් මේ ලියවෙන්න පටන් ගන්නේ. ඉදිරිය බැලුවම පේන්නේ මේසය මත ඇති අඩක් හිස් වුණු බුබුළු දමන බීර වීදුරුවක්. ඊටත් එහායින් හිරු මහ සයුරේ ගිලෙනා අයුරු. මඳ මත් ගතියක් එක්ක හිත දුවන්නේ ඊයේ ආයෙත් සැරයක් බලපු Giuseppe Tornatoreගේ 'සිනමා පාරාදීසෝ' (Cinema Paradiso 1988) පැත්තට.

මට හෝල් එකක බලපු ෆිල්ම් එකක් විදියට ඉස්සෙලාම මතක් වෙන්නේ, අක්කයි, තව ඥාති සොයුරියකුත් එක්ක රීගල් හෝල් එකේ බලපු 'නිසල ගිර'. මං හිතන්නේ එතකොට මට වයස අවුරුදු 14ක් වගේ ඇති. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ලේබල් එකෙන් ආපු ෆිල්ම් එකක්. කොහොම හරි ෆිල්ම් එක බලනවා අර දෙන්නා එක්ක. ඒ කාලේ ෆිල්ම් ලොකුවට තේරුනේ නැතත් නීටා, දමිතා වගේ කැරැක්ටර්ස් ඔලුවේ වැඩකරන්න ගත්තා. තාමත් නීටා, දමිතා පේන්නේ මට නිසල ගිර ඇතුළින්. එදා රීගල් හෝල් එක ගැන තිබ්බ ඉමේජ් එකත්, ෆිල්ම් පිස්සුවත් 'Cinema Paradiso' බලද්දි දැනුන හැඟීම දැන් ඔලුවෙ කැරලි ගහනවා.

'සිනමා පරාදීසෝ' ස්ටාර්ට් වෙන්නේ, පොඩි බඳුනක් ෆොර්ග්‍රවුන්ඩ් වෙලා ඈතින් ඉර බැහැගෙන යන ශොට් එකකින්. හරියට දැන් මම ඉන්න තැන වගෙ. මගේ බඳුන බීර වීදුරුවක්. වයසක ගෑණු කෙනෙක් ගන්න කෝල් එකක් හරහා ෆිල්ම් එක දිග හැරෙන්න පටන් ගන්නවා. අවුරුදු 30කින් ආපු නැති තම පුතාට ඇය කෝල් කරන්නේ.

මම ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්න මේ කාලේ අම්මයි අප්පච්චියි මම ගෙදර එනකම් බලන් ඉන්නවා. සතියකින් ගියේ නැතිවුනාම ලොකු කාලයක් වගේ ඒ ගොල්ලොන්ට තේරෙන්නේ. අපිව ලෝකෙට මුහුණ දෙන්න පුරුදු කරලා, අපි දැන් අපේ ලෝක හොයාගෙන යද්දී ඒ ගොල්ලෝ ගෙදර පුංචි ලෝකේ ඇතුලේ තනිවෙන එක ඒ දෙන්නට දරා ගන්න බැරි වෙනවා. මාව ඇහැරෙන්නේ ඒ සිදු වීමත් එක්ක. අර වයසක ගෑණු කෙනා තම පුතාට ගන්න කෝල් එකෙන්.

ටුටෝ දැන් (‍ෆිල්ම් එකේ වර්තමානය) ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. අවුරුදු 30කින් මේ අතීතයට දුවන්නේ ඔහු. ඔහුගේ අහිමිවීම්.

එදා ඉදන් නොස්ටැල්ජික් එක්ක ජිවත් වෙන්න කැමති මම, සිනමා පාරාදීසෝත් මගේ නොස්ටැල්ජික් එකක් වෙනවා. ටුටො හරහා මාව තැන් තැන් වලට යැවෙනවා. ඇල්ෆ්‍රෙඩො (Philippe Noiret) සහ ටුටො (Salvatore Cascio) හරහා ගොඩ නැඟෙන විරුද්ධාභාශිත මානුශීය සම්බන්ධතාව තුළින්ම ටුටෝව වෙනත් පාරකට ඇදලා ගන්න ට්‍රයි කරනවා. ප්‍රොජෙක්ශනිස්ට් කෙනෙක් නොකර. ඒත් ටුටෝ තමන්ගේ ආශාව වෙනුවෙන් දිගටම පෙනී ඉන්නවා.

මිනිස්සු තම ආශාවන් ලුහුබඳින එක තුළම තමයි ජීවිතේ හම්බ වෙන්නේ. ආශාවන් ඉ‍ටුවුනාට පස්සේ ඇත්තටම ඒ ලබා ගත් නැත්නම් ඉ‍ටුවූ දේ වටිනාකම අවම වී යනවා. ඒ නිසා යන පාත් එක තුළම තමයි අපි ජීවිතේ කියල විග්‍රහ කරගන්න හදන මේ දේ වෙන්නේ. ඒ නිසා නොලැබීම කියන්නේ ජීවිතේ රන් වෙන්න තියන හොදම එනර්ජි එක.

සිනමා පාරාදිසෝ හෝල් එකට එන හැම ‍ෆිල්ම් එකක්ම ෆාදර් විසින් රොමැන්ටික් සි‍ටුවේශන්ස් අයින් කරවලා තමයි හෝල් එකට රිලීක්ස් කරවන්නේ. පූජකයන්ගෙන් සමාජයට වන අනවශ්‍ය ඉන්වොල්මෙන්ට් එක නිසා කලාව හා අනෙකුත් සංස්කෘතික වාරනයන් සමාජයට ප්‍රභල බලපෑමක් කරනවා. ඒත් ධනවාදය තුළ තවදුරටත් පූජකයා (ෆාදර්) වලංගු නොවී යන එක මැදදි අපට පේනවා. මං හිතන්නේ සරලව ක්‍රියේටිව්ලි ඒක ගේන්න ටොර්නාටොර් සමත් වෙනවා. අනික පූජකයා කියන සාධකය පැතලි කරලා, ෆාදර් පැතලි නැති කැරක්ටර් එකක් විදියට බිල්ඩ් වෙනවා.  ‍

ටුටෝ, ඇල්ෆ්‍රෙඩෝ එක්ක අන්තිමට වැඩ කරනවා. හරිම සරල විදියකට එම්බෝස් වෙන්නේ ඒක. අනික ‍ෆිල්ම් එක කතන්දරයක් විදියට ප්ලේ වෙන්න ඔනි නිසා ඇල්ෆ්‍රෙඩෝව අන්ධ කරනවා. මට නම් තිබ්බ දුර්වලම සිදුවීමක් ඒක. ලංකාවේ මෙගා ටෙලියක කෑල්ලක් වගේ ඒක. සහ ඇල්ෆ්‍රෙඩෝව දැක්කම මනෝරත්නව මතක් වෙනවා. මොකක්දෝ කරුමෙකට ඒ නිසා ඇල්ෆ්‍රේඩෝව මනෝ ඇතුළෙන් ප්ලේ වෙන්න ගන්නවා. එතකොටම මට ඇල්ෆ්‍රේඩෝ ඊනියා සරල ෆ්ලැට් කැ‍රැක්ටර් එකක් වෙනවා. ‍ෆිල්ම් එක ඈතට යනවා. එතකොට ‍ටුටෝ තරුණයෙක් ව (Marco Leonardi) සිනමාවේ වෙනත් පැති ටච් (තිර ගතවන ඕලාරික ‍ෆිල්ම් වෙනුවට) කරන්න පටන් ගන්නවා. ඔහුගේ හස්තකැමරාවෙන්. ආයේ ‍ෆිල්ම් එක ලං වෙනවා. ඒ අතරේ සමාජ පෙරලීම් වේගවත් ඡේදන කිහිපයක් ඔස්සේ ‍ෆිල්ම් එකේ ස්ක්‍රීන් වෙනවා. අලුත් පරම්පරාවේ ඉන්වෝල්මෙන්ට් එක තුළ තවදුරටත් පැරණි රදලත්වය නැති වීම, ‍ෆිල්ම් හෝල් තුළ බිහිවන ගණිකා වෘතිය වගේ දෙවල් සහ තාක්ශනයට අනුගත නොවීම නිසා හෝල් එක එන්න එන්න පරිහානියට යාම වගේ දේවල්. මං හිතන්නේ ලංකාවේ හෝල්ස් ඩිජිටලයිස් නොවීම ම සිනමා පාරාදීසෝ වගේ ලංකාවෙත් ඇන්ටික් හෝල් ටිකක් බිහිවීමට පෙර මං තැනීමක්. ඒ මොහොතේ තාක්ශනෙත් එක්ක ඇඩැප්ට් නොවුනම තව දුරටත් පවතින්න බැරුව යනවා. සිනමා පාරාදීසෝ හොද උදාහරණයක් ඒකට. දැන් කොම්පඤ්ඤ වීදියේ රියෝ ‍ෆිල්ම් හෝල් එක, ඒ කාලේ සිනමා පාරාදිසෝ වගේ. ඒ විදියේ පු‍ටු, ඇට්මස්‍ෆියර් එක සහ හෝල් එකම හොඳ සිනමා නොස්ටැල්ජික් ඔබ්ජෙක්ට් එකක්.

ඉන්පසු වට්ටෝරු ප්‍රේම කතාවකට මුල පුරනවා. ‍ෆිල්ම් එක රොමැන්ටිසම් එකක ට ගේනවා. යෞවනයේ ප්‍රේමයේ උ‍තෝපියනු ඩ්‍රීම් එක වෙන්නේ පළමු පෙම. ‍ටුටෝ ෆ්‍රස්ට් ලව් එකත් එක්ක ඉන්නෙ ටික කාලයයි. ඔවුන්ට වෙන් වෙනවා. ‍ටුටෝ තුළ බොළඳ ප්‍රේමවන්තයා ගට්ටනය වෙන්න පටන් ගන්නවා. ඔහු අහිමි පෙම වෙනුවට වෙනත් දේවල් ට්‍රයි කරන්න ගන්නවා. ෆ්‍රස්ට් ලව් එක ඇතුළේ පිච්චෙන මනුස්සයා ඒ පිච්චීම නිසාම හිතන්න බැරි ගොඩක් දේවල් කරන්න පෙළඹෙනවා. සහ ඔවුන් ඒ දේ නිසා නොසිතන තරම් දුර යනවා. කලිනුත් කිව්වා වගේ, ජීවිතේ කියන්නේ ලබා ගැනීම් නෙවෙයි; ලබා ගැනීම් වලට යන පාර. ලව් ස්ට්‍රගල් එක නිසා ප්‍රොජෙක්ශනිස්ට් වෙන්න හිටපු ‍ටුටෝ ලොකු බෙන්ඩ් එකක් ගන්නවා. හරවන්න බැරි ගමනක් යන්න පටන් ගන්නවා.

ඔහු ගමෙන් පිට වෙද්දී ඇල්ෆ්‍රේඩෝ කියනවා,
Don't come back.
Don't think about us.
Don't look back, don't write.
Don't give in to nostalgia.
Forget about us.

මට ‍ෆිල්ම් එකේ වැදුනුම ඩයලොග් එක ඒක. ටාර්ගට්ස් ඇචීව් කරන්න ඕනිනම් කාගෙනම ඉස්සරහට යන්න ඕනි. රාජලියෙක් වගේ උඩුගුවනේ පිහාඹන්න ඕනිනම්, තාරාවොත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. අපි ෆෝකස් කරගන්න ඕනි අපේ ටාර්ගට්ස්. 

ඒත් ටාර්ගට්ස් ඇචීව් කරගත්තට පස්සේ/ ජයග්‍රහණය කරාම අපි ට ජීවිතේ කියල ඉතුරු වෙන්නේ මොකක්ද. වේදනාබර මතකයන් ගොඩක්ද. මතක ඔස්සේ අපි මේතරම් සැරි සරන්න කැමති අපේ ඔක්කොම හිමිවීම් මතකයන් තුළ පමණක් හිමිවූ නිසාද.

-තරිඳු ජයරත්න

Tuesday, November 22, 2016

The Wind Rises - 2013


වින්ඩ් රයිසස් මට සෙට් වෙන්න ගන්නේ එක්තරා ගෑණු ළමයෙක් නිසා. ‍ෆිල්ම් එක හාර්ඩ් එකේ තිබ්බා අවුරුදක් විතර තිස්සේ. ඒත් බලන එක එහෙන් මෙහෙන් කල් ගියා. පස්සේ මේ මෑතකම ‍ෆිල්ම් එක බලන්න උනා අහම්ඹෙන්. අහඹුව ජීවිතේ වෙනස් කරන දෙයක් නිසා ද කොහෙද ‍ෆිල්ම් එකෙත්, මමයි අර ගෑණු ළමයයි අතරත්, වගේ ස්ට්‍රගල් එකක් ක්‍රියේට් වෙන්න පටන් ගත්තා. අපේ සමහර ඉන්සිඩන්ට්ස් ‍ෆිල්ම් එකේ පේන්න පටන් ගන්නවා; ඉතින් ඒ නිසා ‍ෆිල්ම් එක මගේ ඇතුලෙන් වැඩ කරන්න පටන් ගත්තා. 

'The wind is rising. 
we must try to live.'
                              -Paul Valery- 
                                (french poet)  ‍

ෆිල්ම් එක පටන් ගන්නේ පෝල්ගේ එම ක්වෝට් එකත් එක්ක. ජිරෝ හොරිකෝශිගේ (Jiro Horikoshi) රියල් ලයිෆ් ස්ටෝරි එකත්, (ජිරෝ හොරිකොශි යනු, දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානයේ ජීවත් වුණු එයාර්ක්‍රාෆ්ට් ඩිසයිනර් කෙනෙක්. A6M zero සහ J2M raiden යන ප්‍රහාරක යානා ඩිසයින් කරන්නේ ඔහු.) Giovanni Battista Caproni ත් (ඔහුත් ඉතලියානු එයාර්ක්‍රාෆ්ට් ඩිසයිනර් කෙනෙක්), Hori Tatsuo ගේ The Wind Has Risen නවල් එකත් එක තලයක ප්ලේ කරන්න හායෝ මියසාකි (Hayao Miyazaki ) සමත්වෙලා තියනවා. ‍ෆික්ශන් එකත් රියල් සි‍ටුවේශන් එකත් සම්බන්ධ කරමින් ‍ෆිල්ම් එක දුවන නිසාම තමයි ‍ෆිල්ම් එකේ අපිව ප්ලේ වෙන්න ගන්නේ. 

සරල කතාවක් මතුපිටින් ගෙනියන ප්ලොට් එකේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දේශපාලනික පසුබිම සියුම්ව ස්පර්ශ වෙනවා. නමුත් ඒ ස්පර්ශය තේරුම් ගැනීම අපහසු නොවන අයුරින් ඉදිරිපත් කිරීමටත් මියසාකි සමත් වෙලා තියනවා. ඒවගේම තාක්ෂනය නිසා මිනිසාගේ පරිහානිය  නිතරම ‍ෆිල්ම් එකෙ විවිද ක්‍රම ඔස්සේ ජිරෝව ටච් කරන්න ට්‍රයි කරනවා. උදාහරණයක් විදියට, 
මුලින්ම කැප්‍රෝනි, ජීරෝව හමු උනාම කියනවා, 

Airplanes are not tools for war. 
They are not for making money. 
Airplanes are beautiful dreams. 
Engineers turn dreams into reality...! 

ඒත් එම කාලය තුළ ඔවුන්ට තම සිහිනය යුද්ධය වෙනුවෙන් භාවිතා වෙන උපකරණයක් විදියට නිර්මාණය කරන්න වෙනවා. සමහර හීන වලින් සැටිස්ෆැක්ශන් එක උදා කරගන්න, නැත්නම් හීන වෙනුවෙන් ජීවත් වෙන්න ගියාම සමහර මානුෂීය කාරණා වලින් බැහැර වෙන්න වෙනවා. අන්තිමට ඔහුට වැදගත් වෙන්න උදාකරගනනා හීනය මිසක් අවදි උනාම දකින දේවල් නෙවෙයි. 

ජීරෝ එයාර්ක්‍රාෆ්ට් කෙනෙක් වෙන්න හීන දකින්නේ, පයිලට් කෙනෙක් වීමේ නොහැකියාව නිසා. දුරපෙනීමේ අවුල නිසා. ඒ නිසා ඔහු පදින කෙනෙක් නෙවෙයි, නිර්මාපකයෙක් වෙන්න උත්සාහ කරනවා. ටාර්ගට්ස් අපි හදාගන්න ඕනි අපේ චැලෙන් එකත් එක්ක. ජීරෝ හා කැප්‍රෝනි හොද නිදසුන් ඒකට. 

මිනිහෙක් (කාන්තාවක් හෝ පිරිමියෙක්) හීනයක් එක්ක දුවද්දි මඟ හැරෙන ජීවිතේ හම්බ වෙනවා සමහර පිරිමි හෝ ගැහැණු නිසා. ඔවුනොවුන් පෙම්වතුන් නොවී හෝ ඔවුන්ට ජීවිතේ බෙදා ගන්න පුලුවන් වෙනවා; හීන ඇතුළෙම. ඒ වගේම හීනෙන් පිටත්. එතකොට හීනේ/ ටාර්ගට්ස් දිහා බලන්නේ ආදරනීය ලෙස වෙනදට වඩා. 

ජීරෝට, නහොකො (Nahoko) හමුවෙන විදිය හරිම සිනමැටික්. ඒ සීන් එකම කතා ගොඩක් එන විදියට ඩිවලොප් වෙලා තියනවා. ජීරෝගේ හැට් එක සුළඟේ යන එකත්, නහොකො ඒක අල්ලන්න ගිහින් වැටෙන්න යන එකත්, ඔහු නැවත නහොකො අල්ල ගන්න එකත්, ‍ෆිල්ම් එකේ වෙන්න තියෙන කතා ඔක්කොටම අපූරු අරම්භයක් දෙනවා. හැබැයි අන්තිමට ඇය ඇයගේ කෝච්චි පෙට්ටියට යන එකත්, ඔහු ඔහුගේ කෝච්චි පෙට්ටියට යන එකෙනුත් ඔවුන් දෙදෙනාගේ පංති වෙනස එක ශොට් එකෙන් ‍(කෝච්චි පෙට්ටි දෙකේ වෙනස මඟින්) ෆිල්ම් එකට ගේනවා. අනික ඇය ඔහුට පෝල්ගේ කවිය ෆ්‍රෙන්ච් වලින්ම එතනදි කියනවා. ‍ෆිල්ම් එකේ කොඳුනාරටියක් වගේ ඒක හැමතැනම ගමන් කරනවා. ඔවුන් හමුවෙලා පොඩි වෙලාවකින් භූමිකම්පාවක් වෙනවා. ඔක්කොම විනාශ වෙලා යනවා. ඔවුන්ගේ හමු වීමේ ආයූකාලයට අපූරු වෙන්වීමක් එමඟින් සඳහන් කරනවා. 

කලාවත් එක්ක වැඩකරන පුද්ගලයෙක්ගෙ මොළයේ දකුණු පැත්තත්, ගණිතය වැනි විශයන් එක්ක වැඩකරන පුද්ගලයෙක්ගේ වම් පැත්තත් වැඩියෙන් වැඩ කරනවා. ජීරූ හා නහොකොගේ ෆීල්ඩ් දෙක, එකම මොළයක් ඇතුළේ අතිච්ඡාදනය වීම කම්ප්ලීට් ලයිෆ් එකක පරමත්වය පෙන්නනවා. චිත්‍ර, කවි සහ ගණිතය කියන එක ඔවුනොවුන්ගේ බැඳීම් ස්පාර්ක් කරනවා. ‍

ෆිල්ම් එකේ, ප්‍රේමාන්විතම ඉදිරිපත් කිරීම විදියට මම දකින්නේ, ජීරෝ සහ නහොකො මහ වැස්සක ලොකු කුඩෙත් දාගෙන එද්දී, මඟදි වැස්ස නවතිනවා. හාත්පස ආලෝකමත් වෙනවා. දේදුන්නකුත් පායනවා. ජීවිතේ මේක නේද කියල මතක් වෙද්දිම, අපිට මතක් වෙනවා දේදුන්න ඉක්මනටම මැකිල යන දෙයක් කියලා. 

ජීරෝ වේගයෙන් ටාර්ගට්ස් වලට යද්දී ගෙදර මඟ හැරෙන එක සහ ඔහුගේ නැඟණිය ඒ සම්බන්ධතාව වර්ධනය කරන්න හදන එකත්, නහොකො සහ ඔහුගේ නැඟණියගේ සුහදත්වයත් සියුම්ව අපිට අපිව මතක් වෙන්න ගන්නවා. 

හැබැයි ඒ එක්කම ඔහු එයාර්ක්‍රාෆ්ට් කෙනෙක් විදියට සාර්ථකව යානයක් ගුවන් ගත කොට අවසන්. මොන දේවල් තිබ්බත්, මොන හීනය ජයගත්තත් ඔහුට තිබ්බ එක් හීනයක් අවසානයේ ජය ගන්න බැරුව යනවා. ජීවිතේ කියන්නේම ඒ සැබෑ නොවෙන හීනේ වෙනුවෙන් සිටීම කියල අපිට හිතෙනව. සමහර විට ඒ හීනෙ හැබෑ උනා නම් කතාකරන්න ජීරෝ කෙනෙක් ඉන්න එකක් නැති වේවි. 

මිනිස්සු බිල්ඩ් වෙන්නේ අසාර්ථක වීම්, නොලැබීම් එක්ක. 

අවසානයේ ජීරෝට ඇහෙනවා, කියනවා, දැනෙනවා; 

She is gone. 
She was beautiful, like the wind.
.
You must live. 

සිහින කියන්නේ සබෑ වෙන්න ඕනි දෙයක් නෙවේ. ජීවිතේ ගමන් කරන්න ඕනි ඔක්සිජන් ටිකක්. 

-තරිඳු ජයරත්න-

Tuesday, November 15, 2016

The Reader-2008


කාලයක් තිස්සෙ හිතුණු දෙයක් මේ විදියට ලියවෙන්න පටන් ගන්නේ. ෆිල්ම්ස් බලන්න පටන් අරගෙන ගොඩක් කල්. ඒත් ෆිල්ම් කියවන්න පටන් ගත්තේ මෑතක. පස්සේ සිනමාව හදාරන්න, කරන්න එන්නෙත් ඒ උණ එක්ක.

2010 මුල ඒ කියන්නේ O/L කරලා ගෙදර ඉන්න කාලේ අලුත් ලැප් එකෙන් හා හා පුරා කියලා කරේ ෆිල්ම්ස් බලන්න ගනිපු එක. ෆිල්ම් එකක් විදියට ඉස්සෙල්ලාම හිත කිති කැවෙන්න ගන්නේ ස්ටෙෆන් ඩාඩ්‍රිගේ The Reader (2008) ෆිල්ම් එක බලලා. එක හුස්මට බලපු ඒ ෆිල්ම් එකත් එක්ක තමයි මට ෆිල්ම් එකක් කරන්න ඕනි කියල ඉන්ස්පිරේශන් එකක් එන්න. තාමත් මං කැමතිම ෆිල්ම්ස් 10 ඇතුළේ රීඩර් අනිවාර්‍යෙන් ඉන්නවා. කේට් එක්ක ගොඩ නැඟෙන අවියෝජනීය ලිංගික ආකර්ශනය ප්‍රභලව බලපානව මං හිතන්නේ ඒක මෙච්චර දුර අරං එන්න. මොකද රීඩර් මාර ෆිල්ම් එකක් නෙවෙයි. ඒත් දැණුනු ෆිල්ම් එකක්.

මම ඉස්සෙල්ලාම ෆිල්ම් එක බලන්නේ වයස අවුරුදු 17 දී වගේ. ඒ කියන්නේ ලිංගික කුතුහලය අතපත ගාන වයස. සහ වැඩිහිටි ගැහැණු ගැන නිරීක්ශන පරාසය වැඩිවෙන කාලයක් ඒක. ඉතිං ඒ අස්සේ මයිකල්ට හනා හම්බවෙන එක ෆිල්ම් එක තුළ වුනත් මාව කළඹවනවා. කේට් (හනා) කියන්නේ ඒ කාලේ උතෝපියානු ගෑණියක් අපට.

නොස්ටැල්ජික් කතන්දරයක් ස්ක්‍රීන් එකට ගේන්න ස්ටෙෆන් පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයක් වුණත් ඒක ෆ්‍රෙශ් පිට ගේන්න පුළුවන් වෙලා තියනවා. ක්ලැරී සිම්සන්ගෙ එඩිට් එක ඒකට එක හේතුවක්. මයිකල් ගල් අඟුරු ඇදලා නාල ඉවර වෙන වෙලාවේ හනා ටවල් එකත් අරගෙන ඇවිත් (ඇඳුම බාහිර සාධකයක් විදියට ගෙනල්ලා) ඒක අතහැරලා දෙන්නම නිරුවතින් එකක් වෙන එක නැත්නම් තව දුරටත් දෙන්නට සඟව ගන්න දෙයක් නැහැ කියලා පෙන්නන එක වැඩ කරන්නේ, ෆිල්ම් එකේ අන්තිමටත් මයිකල් අවුරුදු ගානකට පස්සේ දුවට කතාව කියනකොටත් නොකියන කතාවක් ඉතිරිවෙනවා වගේ දැනෙන නිසා.

හුදු හොලිවුඩ් වට්ටෝරුවෙන් කතාව ඇරඹෙන එකනම් ටිකක් අවුල්. සාම්ප්‍රදායික පවුල, ඒ කියන්නේ හැමතිස්සෙම පුතාගෙ ඇරියස් එකක් විදියට ඉන්න පියා, ඒ දෙන්නා හැමතිස්සෙම බැලන්ස් කරන්න යන අම්මා, හැම එකටම උල්පන්දම් දෙන සහෝදරියෝ.. වගේ දේවල්. මයිකල්ට ගෙදර එක්ක තිබෙන්නෙ ඒ වගේ විසංයෝජීය බැඳීමක්. ඉතිං එහෙම ඉන්න ගැටවර මයිකල්ට මැදිවියේ සුරූපි හනාව හමු වෙනවා.

මයිකල් හනා තුළින් හැමතිස්සෙම සෙක්ස් එක්ක ‍ෆ්‍රීඩම් එකක් හොයද්දි සාක්ශරතාව නිසා අවුලකින් ඉන්න හනා, මයිකල්ගෙන් සෙක්ස් වලට වඩා පොත් කියවගන්න ට්‍රයි කරනවා. ඒක ‍ෆිල්ම් එකෙ ලිහෙන්න පටන් ගන්නේ පස්සෙ කාලෙක හනාව අවුස්ටස් කඳවුරේ වදකයන්ගේ නඩුවේ දී, සිරකරුවන් හරහා හනා කරල තියෙන්නේ පොත් කියව ගන්න එක. සාක්ෂරතා ගටලුව රහසක් ලෙස (ලජ්ජාව නිසා) සඟවාගෙන සිටින ඇය, එම සැඟවීම එළි නොකරම ඇය නොකළ වරද පිළිගන්නව.

මයිකල්-හනා අතර ඇතිවන අසම්මත ප්‍රේමය තුළ ගොඩ නැඟෙන සියුම් භාවයන් බොහෝවිට විස්තාරනය වෙන්නේ ගැටවර වියේ සිටින මයිකල් හරහා. (මයිකල් රෝඩ් ට්‍රිප් එක යන්න මුද්දර පොත විකුණන එක ඔහු ප්‍රේමය වෙනුවෙන් කරන පළමු ප්‍රභලම කැප කිරීම.) හනාට හැම තිස්සෙම ඒක බැල්න්ස් කරගන්න පුළුවන් වෙනවා. සහ ගැහැණියක් ඒ දේවල් අපූරුවට හසුරවනවා කියලා අපේ අත්දැකීම් පවා සාක්ශි දරනවා. ඉතිං ඒ තුළ මයිකල්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නෙ හනා. ඔහුට පාසැල් මිතුරියකගේ ඉඟි බිඟි එද්දී ඔහු සොයා යන්නේ හනාව. ඒත් එක්තරා අවස්තාවකදි හනා ඔහුට කියන්නේත් නැතුව ඔහුව දාලා යනවා. ඔහු ඒ හිස් කුඩා නිවසේ පාළුවෙන් තනි වෙනවා. ඒ හිස් බව අපූරුවට කැමරාවෙන් ගේන්න රොජෙර් සහ ක්‍රිස් සමත් වෙලා තියනවා. ඔහු ප්‍රේමයෙන් පරාජිත වී ගෙදර එද්දී (වෙනදට වඩා පරක්කු වෙලා, ගෙදර මිනිස්සු මේ කතන්දරේ දන්නේ නෑ) ගෙදර මිනිස්සු ඔහු එනකම් බලන් ඉන්නවා. සියළු බාහිර සමාජීය සම්බන්ධතා බිඳ වැටුනත් කුටුම්භය තුළින් ඔහුට ආයේ ලෝකේ හම්බ වෙනවා. ජීවිතේ යන එන මිනිස්සු අතර පවුල අස්වැසිල්ලක් විදියට හැමදාම තියනවා.

සමහර සම්බන්ධතාවල වටිනාකම තියෙන්නේ නැවැත්විය යුතු එක්තරා මොහොතකදි ඒක නැවැත්වීම තුළින්. හනා ඒ දේ කරත් මයිකල්ට ඒ දේ දරාගන්න බැරි වෙනවා. ඔහු හැමදාම ඇය වෙනුවෙන් හදවතේ කොටසක් වෙන් කරගෙන ඉන්නෙ. වෙන සම්බන්ධතා පටන් ගත්තත් ඔහු ප්‍රථම තහනම් ප්‍රේමය ඇතුළේ සදාකාලිකවම තැන්පත් වෙනවා.

නීති ශිෂ්‍යයෙක් ලෙස සිටින අවධියේ ඔහු ආයේ හනාව නඩු විභාගයක දි දකිනවා. කිහිප සැරයක් උත්සාහ කර ඇය හමු වීමේ උවමණාව ඔහු අතැරදමනවා. ඇය වදකාගාර පාලිකාවක් ලෙස, සිරකරුවන්ගෙනුත් පොත් කියවගෙන බව නඩුවෙදි ඔප්පු වෙනවා.

ඔහු ඇයගෙන් මිඳුනු ලෝකයක් හොයා ගන්නවා. නමුත් ඔහු දික්කසාද වී තම දියණිය අම්මා ගාව නවත්තන්න ගියාම ඔහුට පැරණි පොත් එක්ක කුළුඳුල් ප්‍රේමය මතක් වෙනවා. පොත් කියවන්න බැරි, පොත් කියවන්න ආස හනා වෙනුවෙන් ඔහු පොත්, වොයිස් රෙකෝඩ් එකක් විදියට යවනවා. ඇය සෙමෙන් අකුරු ඉගන ගන්නවා. ඇය හුදෙකලාවේ සිටිද් දී පෙම්කරපු ඔහුව මතක් වෙනවා. ඔහුගේ පහස මතක් වෙනවා. දැන් ඔහුට ඇය ගැන තිබෙන්නේ නිස්සාරත්වය මුසු වුණු උදාසීන කමක්.

අවුරුදු 20කට පස්සේ ඇයව නිදහස් වෙන්න ලං වූ පසු ඔහුට ඇයව හමුවෙන්න වෙනවා. වෙන් වීමක් තුළ ජීවත් උනු මයිකල් ඇය පිළිබඳව ලිංගිකත්වය හරහා මතුවෙන ශූන්‍යතාවක තනි වෙනවා. නමුදු ඇය නැවත ඔහු ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒත් දැන් ඔහු ට ඇය පිළිබඳ එදා හැඟීම අනුකම්පාවකට හැරිලා. හිස් බවක් එක්ක ඔහු ඉන්නේ.

පොත් නිසාම පටන් ගත්ත ආදරයක් අන්තිමට පොත් උඩම නැග සිය දිවි නසා ගන්න හනාව පොළඹවනවා. ජීවිතයේ පශ්චාත් තාපයන්, වෙන් වීම්, එම වෙන් වීම් වලට මුහුණ දෙන අයුරු ද අන්තිමට හිස් බවක් එක්ක අපූරු අවසානයකට ගේන්න තිබුණු ෆිල්ම් එක තව දුර ඇදලා නා ගන්නවා. හනාගේ මරණෙන් පස්සෙ ෆිල්ම් එක ඕලාරික එකක්ම වෙලා යනවා.

Bernhard Schlinkගේ Der Vorleser නම් නවකතාව බේස් වෙලා හදපු ෆිල්ම් එක පොතට වඩා සාර්ථකයි මට නම්. Der Vorleser, 'ගිම්හාන ගීතය' නමින් රංජිත් කුරුප්පු ඕලාරික පරිවර්තනයකුත් කරල තියනවා.

සදාකාලික ප්‍රේමයක ආශ්වාස වාතය ලබා දෙමින් මියුසික් ජීවිතයට කොච්චර ළඟද කියා සැරින් සැරේ ෆිල්ම් එක අපිව කූද්දනවා. මතක දුවන්නේ මියුසික් එක්ක කියල හොඳ නිදසුනක් රීඩර්.

 -තරිඳු ජයරත්න