Tuesday, January 24, 2017

ආලෝකෝ උදපාදි - 2017


අබා එක්ක පටන් ගනිපු ඉතිහාස කතා රැල්ලට තරුණයෙක් කැරැල්ලක් ගහන්න පටන් ගන්නවා එක්තාර සංධිස්තානයකදි. හැබැයි ඔහු කැරැල්ල ගහන්නේ පුස්කාපු ස්ක්‍රිප්ට් එකක් හරහා. ඉතිං ෆිල්ම් එක පුරා පුස්ගඳ ව්‍යාප්ත වෙන එක ඒ ෆ්‍රෙශ් යංග් එනර්ජී එකෙන් බේර ගන්න ඔහුට බැරි වෙනවා. හැබැයි ඔහු සමත්වෙනවා පුස්ගඳ යම්තාක් දුරකට සමනය කර නැවුම් සුවඳක් විහුදුවා ගන්න 'ඉතිහාස කතා රැල්ල' කියන කන්ටෙක්ස්ට් එක තුළ පමණක්. ෆිල්ම් එකක් විදියට වඩා ඒක විතැන් කරන්න වෙන්නේ ලාංකික ඉතිහාස කතා ශෝනර් එකේ හැරවුමක් විදියට. 

කැරැල්ල 'ආලෝකෝ උදපාදී' 
කැරලිකරුවා චත්‍ර වීරමන්. 

මමයි යාලුවෙකුයි පළවෙනි පාරට ෆිල්ම් එක බලන්න ගියේ ගල්කිස්සේ සිටි සිනමා එකට. ඉරිදා රෑ 7 ශෝ ටයිම් එකට. ඒත් 6.40 වගේ වෙද්දී හවුස් ෆුල්. හැරිල එන්න උනත් මමයි මගේ මිත්‍රයයි ආවේ සතුටෙන්. කාලෙකින් ලංකාවේ ෆිල්ම් එකක් හවුස් ෆුල් වීම පිළිබඳව. පහුවදා මමයි ඔහුයි අයේ ෆිල්ම් එක බැලුවා. ඒත් මුල් විනාඩි කිහිපයෙන් පස්සේ බලාපොරොත්තු බොඳ වෙන්න පටන් ගත්තේ හිතුවෙ නැති විදියට. චත්‍ර ගැන තිබුණු බලාපොරොත්තු ඉතුරු වෙන්න ගත්තේ ක්‍රාෆ්ට් හැන්ඩ්ලින්ග් පොරක් විදියට මිසක් සිනමාකරුවෙක් විදියට නෙවේ. 

ෆිල්ම් එක ප්‍රධන වශයෙන් අවුල් වෙන්නේ ස්ක්‍රිප්ට් එක හරහා. ඉතාම දුර්වල අයිඩියෝලොජි එකක් ගේනවා පරණ ස්ට්‍රක්චර් එකක් හරහා. ස්‍ක්‍රිප්ට් එක ලියන්නේ සමන් වීරමන්. චත්‍රගෙ තාත්තා. පිය-පුතු සුසංයෝගය හරහා බිල්ඩ් වෙන්න ඕනී සහ බිල්ඩ්වෙන්න තිබූ ගැඹුරු අයිඩියෝලොජි එක ඊනියා සිංහල බෞද්ධ කන්ටෙන්ට් එකකට සංශිප්ත වෙනවා. බොදු බල සේනා ප්‍රොපගැන්ඩා ෆිල්ම් එකක් තැනට වැටෙනවා. හැබැයි චත්‍ර සමත් වෙනවා ටෙක්නිකලි වැඩේ උස්සන්න. හුරු පුරුදු ඉතිහාස රැල්ලේ චත්‍ර දියුණු තාක්ශණික හැරවුමක් ගන්නවා. චත්‍ර කරන කැරැල්ල වෙන්නේ ඒක. ඕලාරික සෙට් ඩිසයිනින්, විශුවල් ඉෆෙක්ට්ස්, කස්ටියුම්ස් වගේ දේවල් චත්‍ර හැන්ඩ්ල් කරනවා ලංකාවේ ෆිල්ම් එකක මෙතෙක් නොතිබූ ලේයර් එකක ට. 

වලගම්බා රජු විදියට එන්නේ උද්දික ප්‍රේමරත්න. උද්දිකට බැරි වෙනවා එනර්ජික් ඇක්ට් එකක් කරන්න. ටෙලිඩ්‍රාම එකක රජ කෙනෙක්ගේ බිහේවියර්ස් අස්සේ ඔහු ප්ලේ වෙන්නේ. නමුත් දර්ශන ධර්මරාජ් ඔහුගේ චරිතයේ මුල් අර්ධය ප්ලේ කර ගන්නවා ගොඩක් උඩ තැනක. දර්ශනගෙ ඇක්ට් එක එක්ක සමපාත වෙන්න කිසිම ඇක්ටර් කෙනෙක් සමත් වෙන්නෙ නෑ කොතැනකවත්. ඒත් අවසාන භාගය වෙද්දී දර්ශනගෙ කැපෑසිටි එකත් දිය වෙලා යනවා. මට ගොඩක්ම සෙට් වුණු කාස්ටින්ග් සිලෙක්ශන් එක වෙන්නේ මේනක පීරිස්. ඉතාම නිවැරදි තෝරාගැනීමක්. ගැහැණිය තුළ තියන අභ්‍යන්තරික පර්පස් එක මේනකා හරහා හොඳටම ඉස්මතු වෙනවා. ඒ සඳහා මේනකාගේ ෆිගර් එක, කොස්ටියුම්ස් වගේම සෙක්සි ලුක් එකත් බල පානවා ෆිල්ම් එකට. ඒ වගේම නිවැරදි කාස්ට් සිලෙක්ශන් එකක් තමා මලිත් හෑගොඩගෙ 'දැකල පුරුදු කෙනෙක්' තුළ සමාධි ලක්සිරිගෙ ඉන්වෝල්මන්ට් එක. මේ දෙකම බැලුවම පේන්නේ තරුණයන් හරිම කොන්ශස්, ෆිගර් එකෙන් සහ ලුක් එකෙන් ගැහැණිය කියව ගන්න. ඒ ෆිල්ම්ස් දෙකේම ගැහැණියගේ ප්‍රතිගාමීබව ඒ ඇපියරන්ස් එකෙන් ගේන්න ඔවුන් සමත් වෙනවා. ප්‍රාථමික කියවීමක් වගේ පෙනුනට පොඩ්ඩක් හිතල බලන්න ඒක. රොශාන් රවීන්ද්‍රත් හරිම ෆ්ලැට් ලේයර් එකක් ප්ලේ වෙන්නේ. ඔහුගේ කැපෑසිටි එක ඈතට විහිදෙන්නේ නැතිවෙනවා.

සිනමැටොග්‍රැෆි ගැන කතා කරද්දී අපිට හොලිවුඩ් ටච් එකක් දැනෙනවා. අනික විශුවල් බියුටි එක සෑහෙන ඉහල මට්ටමක තියනවා. ලංකාවේ මේන් ස්ට්‍රීම් එකේ කළින් නොතිබූ ස්ටේජ් එකක්. එඩිටින්ග් සෑහෙන ඉහළ මට්‍ටමක තියනවා. ස්පෙශලි පැරලල් කට්ස් ටික. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ කළින් හමුනොවූ මැච් කට්ස් වගේම මරණ සීන්ස් කලින් කට් කිරීම (ලේ වැගිරීම් විශුවලි අඩු කරලා) දියුණු මට්ටමක්. ටෙන්ශන් එක බිල්ඩ් කරල ඉතුරු ටික් අපි විශුවලයිස් කර ගන්න එක. ආලෝකෝ උදපාදී සවුන්ඩ්ස් ඩිසයිනින්ග් එක සහ මියුසික් ලංකාවෙ ගොඩක්ම ඉහළ මට්ටමේ ට්‍රීට්මන්ට් එක වෙන්න ඕනි. අතිශය සැලකිලිමත් වෙලා කරපු ට්‍රීට්මන්ට් එකක්. කොස්ටියුම්ස්(එන්ඩ් සීන් එකේ මේනකා හැර), සෙට් ඩිසයිනින්ග් වගේ දේවල් සෑහෙන ඉම්ප්‍රෝව්මෙන්ට් එකක්. ආයෙත් මං කියන්නේ චත්‍ර කැරැල්ල ගහන්නේ මේවා එක්ක. චත්‍රට මිස්වෙන්නේ කන්ටෙන්ට් එක. 

බැට්ල් සීන් එකේ, පළෙවෙනි ඇටෑක් එක ක්‍රියේටිව්ලි ගේන්න චත්‍ර සමත් වෙනවා. වීක් පොයින්ට්ස් අහුවෙන්න නැති වෙන්න. වෙන්න යන දේ සහ උනාට පස්සේ සිදු වූ දේ පෙන්වා ප්‍රේක්ශකයා තුළ ඒ බැට්ල් එක ඉමැජින් කරන්න ඔහු සමත් වෙනවා. ඒත් අවසාන බැට්ල් එක නම් ඒ තරම් සාර්තක වෙන්නේ නෑ. විශේෂයෙන් උද්දික සහ දර්ශනගෙ ෆයිට් එක. ඒක ක්‍රියේට් වෙන්නේ අතිශය දුර්වල් බැක්ග්‍රවුන්ඩ් එකක. පසුබිමේ මුකුත් නැතිව ඒ දෙන්නා විතරක් කරන ෆයිට් එකක් විතරක් වෙනවා. බැට්ල් ෆීල් එක මිස් වෙනවා. 

චත්‍ර වගේ සීරියස් ක්‍රාෆ්ට් හැන්ඩ්ලර් කෙනෙක් දැනගන්න ඕනි පුස්කාපූ පාන් පිටියි නරක් වෙච්ච බිත්තර වලිනුයි කේක් හදන්නේ නැතුව අලුත් පාන් පිටියි අලුත් බිත්තරයි යූස් කරන්න. මොකද චත්‍රව ගේන්නේ තාක්ශණික වශයෙන් දියුණු ක්‍රාෆ්ට් එකක්. චත්‍ර කියන්නේ හොඳ අයිසින් කේක් එකක් හදන්න පුළුවන් පොරක්. අපි ෆිල්ම් එක බලන්න යන්නේ චත්‍රගේ විශ්වාසය මත. ඒත් සමන් වීරමන්ගේ පරන ස්ට්‍රීරියෝ ටයිප් අයිඩියා එක අපිට ආයෙත් බලන්න වෙනවා. ඩිරෙක්ටර්ගේ අයිඩියෝලොජි එක මිස් වෙලා මතු වෙන්නේ යල් පැන ගියපු හණමිටි අතිශය පසුගාමී මතවාදයක්. 

ලාංකික සිනමාවේ දිගින් දිගටම අසාර්ථක වෙන මනුස්සයා තමා සුනිල් ආරියරත්න. මෑතක මං දැක්කා ආරියරත්නගේ අලුත් ෆිල්ම් එකත් එක්ක චත්‍ර වැඩ කරන්න පටන් ගෙන. සුනිල් ආරියරත්න ට බැහැ සෙට් එකවත් අඩුම ගානේ ෆිල්ම් එකේ මූඩ් එකට හරියන ක්‍රියේට් කරන්න. ඒ නිසා චත්‍ර වගේ මිනිස්සු අස්සේ ඉඳන් සුනිල් ආරියරත්නලා දැන් එළිය බලන්න ට්‍රයි කරන්න පටන් ගනී වී. පරිස්සමින් මචං. හවුස් ෆුල්, ගුඩ් අයිඩියෝලොජි එකක් එක්ක සුන්දර නැවුම් සිනමාවක් අපිට අවශ්‍යය. අර පරණ කබා ආයේ ඇඳ ගන්න එපා. ලංකාවේ ඕඩියන්ස් එක රවට්ටන්නේ නැතුව මොඩර්න් ස්ටෝරියක් ඇතුළේ හවුස් ෆුල් කරගන්න, මේන්ස්ට්‍රීම් එක (ඉන්ඩස්ට්‍රි එක) ට්‍රයි කරන්න ඕනි. ඉතිහාසය විකුණගෙන ඒක එක පරණ වැඩියි. වෙහෙසයි දැන් ඒව බලලා ම. 

හොඳ පිටපතකින් දුර්වල ෆිල්ම් එකක් කරන්න පුළුවන්. 
ඒත් දුර්වල පිටපතකින් හොඳ ෆිල්ම් එකක් කරන්න බෑ. 

ආලෝකෝ උදපාදී අපිට කියල දෙන්නේ ඒ පාඩම. කොහොම උනත් ආලෝකෝ උදපාදී අපිට අලුත් මිනිස්සු ටිකක් එළියට අරං දෙනවා. දෙපැත්තකින්. ඕඩියන්ස් එකෙන් සහ ඉන්ඩස්ට්‍රි එකෙන්. චත්‍ර සමඟ එළියට එන ඒ සෙට් එකට ප්ලේ කරන්න හොඳ ග්‍රවුන්ඩ් එකක් ඉක්මනින්ම හැදේවි. ආයේ ෆිල්ම් හෝල් වලට මිනිස්සු එන කාලයකට ඉන්ඩස්ට්‍රි එක ගේන්න වෙන්නේ චත්‍රලා, ශමීර වගේ අලුත් සෙට් එකට. ඉතිං ඒ සෙට් එකට පරිස්සමින් ඇවිදින්න කියන ගමන්, සාධනීය මට්ටමක (ඉතිහාස කතා රැල්ල සහ මේන්ස්ට්‍රීම් එක තුළ) වෙනසක් කළ අලෝකෝ උදපාදී නිසා ආයේ ඉතිහාස කතා රැල්ල ඔඩුදුවන්න ගනීවිදෝ සැකයක් එනවා. කොහොම උනත් හෙට එච්චර කළුවර වෙන එකක් නෑ කියලා ආලෝකෝ උදපාද වෙනවා. 

-තරිඳු ජයරත්න-

Tuesday, January 17, 2017

Freedom (La Libertad) - 2001


මට, මාව ෆිල්ම් එකක හම්ඹවෙන්න ගන්න එක තමයි සිනමාව තුළ තියන මගෙ ප්‍රියතම වේදනාව. එහෙම ෆිල්ම්ස් හම්බවෙන්නේ සීමිතව. ඒත් ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා මම(අපි) ඊට පස්සේ. අපි ජීවිතේ ටාගර්ට්ස් හොයාගෙන මේ වේගයෙන් යන ජීවිතේ ගැන පොඩ්ඩක් හරි කොන්ශස් වෙන්නේ මේ වගේ 'දෙයක්' දැක්කොත්, ඇහුවොත්. ඒ 'දෙය' ෆිල්ම් එකක්, සිංදුවක් හෝ ඒ වගේ මොනයම් වූ හෝ දෙයක් විය හැකිය. ජීවිතේ කියන නිශ්චිත සාධකය කේන්ද්‍ර කරලා චාපයක් ඇන්ඳොත්, ඒ චාපය තුළ හමුවෙන මිනිසුන්, ජීවීන් හා අනෙකුත් භෞතික සාධක කේන්ද්‍රය තුළට විස්තාපනය වෙන්නේ හරිම සංකීර්ණ සහ ඇතැම් විට පිළිකුල් සහගත විදියකට. අම්මා, අප්පච්චී, අක්කා හෝ නංගී (මා අවිවාහක නිසා අවිවාහක කන්ටෙක්ස් එකෙන් කතා කරමි.) කේන්ද්‍රය වෙත විස්තාපනය වන ප්‍රමාණයට සාපේක්ෂව පසුකාලීනව ජීවිත චාපයට එන මිනිසුන්ගේ කේන්ද්‍රය තුළට විස්තාපනය මේ තාක් සිදුවෙලා තියෙන්නේ සංකේතීය වටිනාකම් ඔස්සේ. මා ඒ මිනිසුන් තුළ දකින වටිනා කමක් නිසා ඇතුළත ගන්නා අතර ඇතැමෙක් එන්නේ මාගේ වටිනාකමට විය යුතු ය. පැවැත්ම යනු එය ය. නමුත් ජීවිතය කියන්නේ මේ අවියෝජනීය සම්බන්ධතා ජාලයේ කෙළවර හුදෙකලා වීම තුළින් අපි හොයා ගන්න ට්‍රයි කරන්න දේ. සියළු සම්බන්ධතා වියැකෙන්න පටන් ගත්තා වූ මොහොතක මෙය දැනෙන්න ගන්නවා. ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණු විට විශ්වාසය පිළිබඳව කැරළි ගසමින් අපි හොයාගෙන යන්නේ සම්බන්ධතාව නැවත ගොඩ නඟන්න. ඒත් ඒ ගොඩ නැඟීම තුළම අයිසොලේට් කැරැක්ටර් එකක් බිහි වෙන්න පුළුවන්. ප්‍රේමයේ විප්‍රලම්භ ශුංගාරය තුළ මිනිසා හිරවීම (අඩු වැඩි වශයෙන් මගේ ආශාව ප්‍රේමයට වඩා වියෝග මානසික තත්වයන් තුළ හිර වීමම, හුදෙකලා කෘති වලට මගේ රුචිකත්වය වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.) සම්බන්ධතා ජාලයේ කෙළවර මුණ ගැසීමේ පෙර සූදානම විය හැක. අපේ ඒ හුදෙකලාවට ඇති ආශාක්ත බව සහ බැඳීම් වල ඇති නිස්සාරත්වය වැටහීම ට හොඳ පූර්වෝපායන් කිහිපයක් ලිසන්ද්‍රෝරෝ අලොස්න්සෝගේ (Lisandro Alonso) Lonely Man Trilogy (Freedom 2001, The Death 2004, Liverpool 2008) හරහා හමුවෙනවා.

සයිමන් කැලය කියන කන්සෙප්ට් එක ගොඩක් පොත් ඇතුළේ විතැන් කරනවා හරිම අපූරුවට. අර්ජන්ටියන් මිනිහෙක් ඒ වගේම කැලය බේස් කරගන්නව ප්‍රකාශනයකට. ඔහු තමයි ලිසන්ද්‍රෝ. ප්‍රකාශනය තමයි "ෆ්‍රීඩම්". "ෆ්‍රීඩම්" කියන්නේම බැඳීම් අස්සේ හිර වෙලා මේ විඳින වේදනාවට හොද මෙඩිසින් මූවි එක ක්. හරියට පිල් එකක් දාල යන ට්‍රිප් එකක් වගේ අපිට ෆිල්ම් එකත් එක්ක දුර ගමනක් යන්න පුලුවන් වෙනවා. ලිසන්ද්‍රෝගේ ටැලන්ට් එක වෙන්නේ මේ පිල් එක කොහොමද ෆිල්ම් එකක් අස්සේ නොදැනෙන්න පොවන්නේ කියන දේ. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ පිල් එකක් වගේ ෆිල්ම් එකක් ඇවිත් නෑ තාම. ලංකාවේ වෙන්නේ ඉන්ජෙක්ට් කරන ෆීල් එකක් එක්ක ප්ලේ වෙන ෆිල්ම්ස්. ටෙම්පෝ එකකට කපා ගන්න නැත්නම් රිදම් එකට ඇක්ට් කර ගන්න, ටෙම්පො එකක ශූට් කර ගන්න සහ අඩු වැඩි වශයෙන් ස්ක්‍රිප්ට් එක සහ ඩිරෙක්ශන්ස් ටෙම්පෝ එකක ප්ලේ කරන්න තාම බැරි වෙනවා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතිං එහෙම ඉන්ඩස්ට්‍රි එකක් තියන රටක ලිසන්ද්‍රෝ වගේ සීරියස් ඩිරෙක්ටර් කෙනෙක් මිස්වෙන එක පට්ට සාධාරණයි. ලංකාවේ අපිට ලිසන්ද්‍රෝගේ ෆිල්ම් එකක් බැලුවත් ඒක කියවගන්න (ෆීල් වෙන්නේ නැති එක) බැරි වෙන එකත් මේ සිටුවේශන්ස් අස්සේ සාධාරණීකරණය කරන්න පුළුවන්.

"ෆ්‍රීඩම්" එකේ මතුපිට කතාව වෙන්නේ ගස් කපලා විකුණන මනුස්සයෙක්ගේ එක දවසක්. දවසක හිස්බව කියන එක අපිට රෑ නිදා ගන්න ගිහින් පොඩ්ඩක් හැරිලා බැලුවම ඒ දවස දිහා, හොඳට වැට හෙනවා. ජයග්‍රාහී යැයි සැලකෙන දවසක් පවා අපිට පස්සේ වෙලාවක හිතෙන්නේ කිසිම දෙයක් නොවූ හිස් දවසක් විදියට. මේ හිස් බව තේරෙන්නේ රෑට මනෝපාරක් ගහගෙන ඉඳිද්දී. ලිසන්ද්‍රෝ ෆිල්ම් එක ස්ටාර්ට් කරන්නේ මේ රෑ, කෑම කන සිටුවේශන් එකේ. හැබැයි ඔහු(ගස් කපන්නා) කන්නේ මස් පුච්චගෙන. කැලේම එළියේ. පසුබිමින් අකුණු ගහනවා. ඒ අකුණු එලියෙන් තමයි විශුවල් එක ටිකක් හරි ඩීටේල්ස් වෙන්නේ. ඒ මිනිත්තු කිහිපයේ සිටුවේශන් එකම ජීවිතේ හිස් බව ඇතුළේ කැරලි ගහන්න අපිව පොළොඹවනවා. එන යන දේවල් අකුණු අස්සේන් විශුවල් වෙද්දී, එන දේවල් යන්නේ ආලෝකයට වඩා වේගෙන් කියන එක තේරෙන්නේ ෆිල්ම් එකේ එන්ඩ් එකේදි. හැමදාම පවතින්නේ කළුවර මිසක් සැරෙන් සැරේ පත්තු වෙන එළිය නෙවේ කියන එක.

උදේ ඔහුගේ දෛනික ජීවිතය පටන් ගන්නවා. ගස් කපනවා. ඒවා ප්‍රවාහනයට පුළුවන් ආකාරයට සකස් කරනවා. ඒ අතරේ ඔහුගේ ශරීර කෘත්‍යයන් පවා ෆිල්ම් එකෙ ගේන්න ලිසන්ද්‍රෝ සමත් වෙනවා. ඒ පුංචි පුංචි ඩීටේල් එකකින්ම දවසක දින චර්‍යාව පෙන්නන්න ඔහු උත්සාහ කරනවා. හැමදාම වෙන්නේ මේක නේද කියන එක. ඔහු ජීවත් වෙන ස්පේස් එක පවා අටවගනිපු කූඩාරමක් වගේ එකක්. ඔහු කන්නෙත් අල වගේ දෙයක් තම්බලා. පිටින් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ලක්සරි අපාර්ට්මන්ට් එකක හරි ලක්සරි ගෙදරක ඉඳලා, හොඳ කෑම වර්ග කන මනුස්සයට මේ හිස්බව (emptiness) එක නෑ නේද කියල. ඒත් කැමරාවට ඒ ලක්සරි එක සහ ෆයිව්ස්ටාර් කෑම වේලක් හරහා හිස්බව ගේන්න අමාරුයි. ලක්සරි බැක්ග්‍රවුන්ඩ් එක කියන්නේ මේ හිස් බවට දාන ලස්සන කවර් එකක්. කැමරා ට්‍රීට්මන්ට් එකකින් ඒක ගලවනවා කියන්නේ හරිම කම්ප්ලිකේටඩ්. හිල්ටන් එකෙන් කාල රෑට නයිට් ක්ලබ් ගිහින් එළිවෙනක්ම් නටන මනුස්සයට වෙන්නේ හිස්බව කොන්ශස් නැති වෙන එක මිසක් ඒ මනුස්සයව හිස්බව විසින් වෙලාගෙන නෑ කියන එක නෙවෙයි. ඒ නිසා ෆ්‍රීඩම් ලක්සරි ලයිෆ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අටවගෙන ඉන්න කූඩාරම ම තමයි අර ලක්සරි ගෙදරක ඉන්න මිනිහගෙ හිතේ තම නිවස පිළිබඳ අයිඩියා එක. අර අල ම තමයි ඔහුගේ හිල්ටන් කෑම වේලෙන් එන රහ. දෙකම ෆෝකස් වෙන්නේ එකම ක්ශුද්‍ර වූ හිස්බවට.

ෆ්‍රීඩම් එකේ පුද්ගලයාට මිනිස් සම්බන්ධතාවක් මුණගැසෙන්නේ ලී ගෙනියන්න එන අතරමැදි මුදලාලී හරහා. ඒ ඔස්සේ විවර වෙන සම්බන්ධතාවයේ පදනම වැටෙන්නේ ඔහුගේ ව්‍යාපාර හෙවත් අය-වැය නැත්නම් මූල්‍ය වාසියක් තකා පමණි. ඔහු හා බල්ලා අතර සම්බන්ධයද හමුවන්නේ මුදලාලි හරහා පමණි. සතුන් හා විවෘත වීමට උත්සාහ කරන තත්ව යටතේ මිනිසාගේ පැවැත්ම මිනිසා තුළට වඩා මේ වන විට විතැන් වෙන්නේ තිරිසන් සත්වයකු තුළ. මිනිසාගේ විශ්වාසණීත්වය හා මිනිසත් බව නැසී යාම එයට හේතු විය හැක. ඔහුගේ ව්‍යාපාර ඔස්සේ නගරය හරහා ඔහු ගෙදර හා සම්බන්ධ වීමට සූදානම් වේ. ඔහු මව හා සම්බන්ධවෙන්නේ ද වෙන පණිවිඩකරුවකු හරහා ය. මානූශීය සම්බන්ධතා කෙතරම් දිය වී ගියද මව-දරුවන් සම්බන්ධතාව බිඳ හෙලීම අසීරු ය. නමුත් ඔහුට (මේ වෙද්දී අඩු වැඩි වශයෙන් අප සියල්ලට ම) මව යනු යුතුකමක කොටසක් පමණක් වී අවසානයි. ඔහු ගෙදර ට කෝල් කරන්නේද මේ දුරස්ථකරණය මත පිහිටා ය.

ඔහු තම ලී විකුණා නැවත කැලෑව වෙත පැමිණේ. ඔහු එන ගමන් "ඈයා" කියන සතා දඩයම් කරගෙන පැමිණේ. ඈයා තරමක් ගණ කට්ටක් තිබෙන සතෙකි. ඔහු උණුවතුර දමා දිය කිරීමට තැත්කොට සතාව පුළුස්සා කෑමට ගනී. මේ මොහොතේ අපි ට කෑම පිඟාන, ලුණු වතුර ටිකක් ඉසූ අලගෙඩියකින් හා පිළිස්සූ ඈයෙකුගෙන් වෙනස් වෙන්නෙ කෙසේද කියා සැලකිළිමත් වීම වැදගත්‍ ය. ඉතාම අඩු මිලකට, මිනිත්තු දෙකෙන් හදා ගන්න පුළුවන් නූඩ්ල්ස් එකක් දක්වා කෑම එක අපිට මේ වෙද්දි සමීප වී හමාරයි. නමුත් මිනිත්තු දෙකේ නූඩ්ල්ස් එක වගේම ඈත ගමක පැයක් දෙකක් මහන්සි වී හදන කෑම වට්ටෝරුවත් වෙනස් වෙන්නේ වෙලාවෙන් හා පෝෂණයෙන් පමණකි. පිළිස්සූ ඈයා, ක්ශනික නූඩ්ල්ස්, ගැමි ආහාර වේලක් සහ ෆයිව්ස්ටාර් ආහාර වේලක් අතර ගට්ඨනය ජීර්ණය වීමත් සමඟ ෆෝකස් වෙන්නේ එකම තැනකට. ඒ සියල්ලම දුවන, ගමන් කරන, පියඹායන, පිහිනා යන, බඩගා යන හිස් බවක් වෙත.

ඔහු මේ ඈයා පුළුස්සමින් කන සීන් එකම තමයි ෆිල්ම් එකේ ස්ටාර්ටින්ග් සීන් එක. ඒ වගේම එන්ඩ් සීන් එකත් ඒකමයි. ඈතින් අකුණු එළි අස්සේ ඩීටෙල් වෙන රූප රාමුවක් දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න අපිට ෆ්‍රේම් එකේ තමන්ව පේන්න පටන් ගනවා. පිටින් පත්තු වෙන එළි අස්සේ තමන්ගේ ජීවිත සාධක දුවද්දී සැමදා තමන් ලඟ ඉඳල තියෙන්නේ මේ නියත කළුවර පමණයි කියන එක මතක් වෙනවා.

අපේ කැපෑසිටි එකටම හිතන මිනිහෙක් හම්ඹවෙනව කියන්නේත් හරි සුන්දර අහඹුවක්. මගේ දෙවැනි ශෝර්ට් ෆිල්ම් එකේ කන්සෙප්ට් එකයි ලිසන්ද්‍රොගෙ ෆ්‍රීඩම් එකයි ගොඩක් ළඟයි. මගේ ෆිල්ම් එකේ පිච් එකත් ඉවර වෙලා ප්‍රොඩක්ශන් එකට තිබුණු සංක්‍රාන්ති කාලෙක තමයි මම ෆ්‍රීඩම් බලන්නේ. ඒ නිසා හිත අස්සේ ඒ අහඹුවේ සුන්දරත්වය එහෙමම තැන්පත් වෙනවා ස්ක්‍රිප්ට් එක ලියන්න කලින් ෆිල්ම් එක නොබැලීම පිළිබඳව. මේ වෙද්දී, මගේ උතෝපියානු ෆිල්ම්ස් කිහිපයෙන් එකක් වෙනව "ෆ්‍රීඩම්".

තවදුරටත් මේ විදියට හිස්බව ඇතුළේ විතැන් වෙද්දී, කපුගේ මෙහෙම කියනවා හිත ඇතුළේ ඈත කෙළවරක ඇහෙනවා.

"ජීවිතය ඉතිං අපේ සිහිනයක් නොවේ 
හෙට උදේම අවදි වී යායුතුව තිබේ"

හිස්බව දැනුනත් 'ජීවිතය නම් අරගලයට', ෆිල්ම් එක ක්ලෝස් කරල අපිට මුහුණ දෙන්න වෙනවා. හැබැයි වේගයෙන් දුවද් දී මොහොතක් නැවතිලා බලන්න දුවන්නේ කොහෙටද කියලා.

-තරිඳු ජයරත්න-

Thursday, January 5, 2017

Womb - 2010

 

ඕඩිනරි ලව් එකක් ඇති වෙන්නේ, ප්‍රථමයෙන් රූපමය සාධක මත. මුලින්ම දැකපු වෙලාවේ, ඒ භෞතික සිරුරට තමයි ලොල් බැඳ ගන්නේ. ඇස් වලට, මූණේ ලප වලට වගේ අනු සාධක ඔස්සේ ප්‍රේමය ගමන් ගන්නවා ඊට පස්සේ. ඒත් කල්යද්දි තමයි ඉනර් එකට (personality එකට) ලව් කරන්නේ පටන් ගන්නේ. ඉන් පසු පෙම්ව්තුන් ලෙස හෝ අහිමි පෙම්වතුන් ලෙස ඔවුන් පවතිනවා. නමුත් සේපියෝසෙක්ශුවල් (Sapiosexual - a person sexually attracted to intelligence in others) කියන්නේ භෞතිකත්වයෙන් එහා ගියපු ආදරයක්. පාරිභෝජන සමාජයේ මේ වෙද්දි අපිට එහෙම සම්බන්ධතා හොයා ගැනීමට අපහසු උනත් ඉඳහිට හෝ හමු වෙන වෙලාවල් තියනවා. කොහොම උනත් බෙනඩික් ෆ්ලිගෆ් (Benedik Fliegauf) ගේ 'වූම්බ්' (Womb -2010) වගේ ‍ෆිල්ම් එකකට එද්දි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න වෙන්නේ ඕඩිනරි ලවු එෆයර් එකක් ගැන. ඒත් ඒ තුළ තියන සදාකාලික බව පොලා පනිනවා ඉබේම. වූම්බ් කියන්නේ ප්‍රේමය යතාර්තයක් බවට පත්කර ගන්න පුළුවන් ද කියන එකට නිදර්ෂකයක්.

වයස අවුරුදු 8-9 වගේ ගැහැණු ළමයෙක්(රෙබෙකා) හා පිරිමි ළමයෙක්(‍තෝමස්) අතර ඇතිවෙන ආකර්ශනයක් එක්තරා සීමාවකින් එහාට යන්න බැරුව නවතිනවා. හැබැයි පස්සේ කාලෙක ඒ ගෑණු ළමය ආයේ එනවා. ඇය දැන් තරුණියක්. ඔහු තරුණයෙක්. කාලය තුළ සැඟවිලා ගියපු ඒ හැඟීම් ආයේ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ඒ හැඟීම් බිල්ඩ් වෙන්නේ භෞතිකත්වය ඔස්සේ. හැබැයි පසු කාලෙක ගැහැණු ළමයා (Ruby O. Fee) තරුණියක් වෙලා (Eva Green) එද්දි, ඇය හොයාගෙන එන්නේ කුඩා පිරිමි ළමයා (Tristan Christopher) ව ද නැත් නම් තරුණයෙක් (Matt Smith) ව ද කියන එක විසඳගන්න වෙන්නේ අපිට. ඇය තුළ හා ඔහු තුළ අවුරුදු 12කින් නොදැකපු ඔවුනොවුන්ගේ ඉමේජ්ස් කලර් කරන්නේ අපි. මට සාපේක්ෂව ඇය හොයාගෙන එන්නේ ඒ කාලේ මතකයෙන් Pause වුණු ඒ කුඩා ‍තෝමස්. හැබැයි ඇයට හමු වෙන්නේ තරුණ ‍තෝමස්. අඩු වැඩි වශයෙන් ‍තෝමස් පවා බලාපොරොත්තු වෙන්න ඇත්තේ, කුඩා රෙබෙකා. හැබැයි ඔහුටත් මුණගැසෙන්නේ තරුණ රෙබෙකා.

නමුත් ඔවුන්ගේ හමු වීම තාවකාලිකයි. ‍තෝමස් මැරෙනව ඇක්සිඩන්ට් එකකින්. සිනමාවේ කොහොමද සවුන්ඩ්ස් වලින් විශුවල්ස් මවන්නේ කියන එකට හොඳම උදාහරණයක් ඒ සිදු වීම.  ‍තෝමස්ගේ මරණයත් එක්ක ආයෙත් රෙබෙකාට තමන්ව (තමන්ගේ ප්‍රේමය) අහිමි වෙනවා. ඇය ඉන්පස්සේ තමන්ගේ අහිමි පෙම්වතා නැවත උප්පද්දවන්න ක්ලෝනීකරණය මගින් උත්සාහ ගන්නවා. ක්ලෝනික ‍තෝමස් කෙනෙක් උපදිනවා. ප්‍රේමය තුළ ගැහැණිය සහ මිනිහා අර්බුධයට යන්නේ මේ අවස්තාවේ. අපි ප්‍රේමය කියල බලාපොරොත්තු වෙන්නේ මේ භෞතික සිරුර පමණක්ම ද, නැත්නම් ඒ තුළ තියන ඉන්ටලිජන්ස් කොටසත් එක්ක ද කියන එක ඉතුරු වෙනවා.

කුඩා ක්ලෝනික ‍තෝමස් සෙමෙන් සෙමෙන් වැඩෙන්න ගන්නවා. රෙබෙකා දකින්නේ කලින් පොඩි කාලේ දැක්ක ‍තෝමස් (Tristan Christopher) ව. නමුත් රෙබෙකා වැඩිහිටි කාන්තාවක්. සහ ඇය මේ ක්ලෝනික ‍තෝමස්ගේ මව. ඇය මතකයෙන් Pause වූ කුඩා ‍තෝමස් හරහා ඇයගේ ළමා කාලය සහ වර්තමානය එක්ක ස්ට්‍රගල් එකක් පටන් ගන්නවා. ඇය තම පුතු තුළින් දකින්නේ අර ‍තෝමස්. හැබැයි මේ තම පුතා. පුතා කියන්නේ සැබෑ ‍තෝමස්ගේ සිරුර පමණක් භෞතිකයක් ලෙස උරුම වූ ජීවියෙක්. ඉන්ටලිජන්ස් දෙකක්. සිනමාවේ නිර්මණ කිහිපයක ම මව-පුතු (Oedipus complex) ලිංගික උත්ප්‍රේරක අවස්ථා ගේන්න බාත් ටබ් එක යූස් කරන්වා. ඒක ප්‍රසිද්ධ ශොට් එකක් වෙලා දැන්. හඳගමගේ අක්ෂරය, ජොනතන් ග්ලේසර්ගේ බර්ත් සහ බෙනෙඩික්ගේ වූම්බ් අඩු වැඩි වශයෙන් බාත් ටබ් එක යූස් කරනවා.('බර්ත්' මව-පුතු අතර සම්බන්ධය නොවුනත් වැඩිහිටි-ගැටවර සම්බන්ධය දිස්වෙනවා)

ක්ලෝනීකරණය මඟින් මිනිහෙක් (ජීවයෙක්) උපැද්දූ විට අපේ ඔලුවෙ තියන ඉමේජ් එක ඒ ක්ලෝනය හරහා මතු කර ගන්න පුලුවන්. ඒත් මනස කියන දේ සහ අපි බලාපොරොත්තු වෙන මනස (ඉන්ටලිජන් එක) කොහොමද ඒ ක්ලෝනයට ඇප්ලයි කර ගන්නේ. රෙබෙකා තම මිය ගිය පෙම්වතාට සමාන ක්ලොනික පෙම්වතෙක්(?) ගොඩ නඟනවා. ඇය ඇද බැඳ ගත් ‍තෝමස් (සිරුර) ව. නමුත් ක්ලෝනික ‍තෝමස්ට කොහොමද සැබෑ ‍තෝමස්ගේ ඉන්ටලිජන්ස් ඇප්ලයි කර ගන්නේ කියන අවුලේ රෙබෙකා හිර වෙනවා. අපට තව දුරට ත් අපේ ආදරවන්තයා හෝ වන්තියගේ සිරුර නිර්මාණය කිරීමේ අර්බුධය නැතිව යනව. ඒත් ප්‍රේමය කියන්නේ සිරුර නෙවෙයි කියන එක වලංගු සාධකයක්. අපේ ෆැන්ටසිමය සිරුර පමණක් ක්ලෝණයක් හරහා ගොඩ නැ‍ඟෙනවා.  අපිට Pure Love එක ක්ලෝනයක් හරහා හමුවෙන්නේ නෑ.

වැඩිවියට පත්වෙන ක්ලෝනික ‍තෝමස් දකින මැදිවියේ රෙබෙකාගෙ, ඉන්සයිට් එක සංකීර්ණ ලේයර් එකක තියෙන්නේ. ඇය ලිංගිකත්වය මුසු වූ ආශාවකින් තමයි ක්ලෝනික ‍තෝමස් දිහා බලන්නේ. ක්ලෝනික ‍තෝමස්ට පෙම්වතියක් ඉන්නවා. හැබැයි රෙබෙකා (මව) ඒ දෙදෙනා අතරට එන්නේ ඉතාම ක්ෂුද්‍ර ආකාරයට. එනව එන්නේ නෑ වගේ. නමුත් කෙසේ හෝ ක්ලෝනික ‍තෝමස් තුළට රෙබෙකා රොමැන්ටික් ලෙස ඇතුළු වෙනවා. ඔවුන් ලිංගික සම්බන්ධතාවයක් දක්වා දුර යනවා. මව-පුතු අතර ඇතිවන ව්‍යාභිචාරවත් ලිංගික හැසිරිමකට වඩා මට ඒක පේන්නේ කාලයක් තිස්සෙ තම පෙම්වතා හමුවෙනකම් සිටි ගැහැණියකගේ නිමානොවන ප්‍රේමාන්විත ආශාවක් විදියට. අවිඥාණිකව 'කොළරා කාලේ අලේ' මතක් වෙනවා.

දැනෙන-හියුමන් ටච් එකක් තියන සයන්ස් ‍ෆික්ශන් එකකට හොද උදාහරණයක් 'වූම්බ්'. කොහොමද සයන්ස් ‍ෆික්ශන් එකකින් මිනිස් හැඟිම් අහුමුලු ඔස්සේ සැරි සරන්නේ කියන එක බෙනෙඩික් සාරථකව ජය ගන්නවා. අනික 'වූම්බ්' එකේ සිනමැටොග්‍රැ‍ෆි විශිශ්ට මට්ටමක තියනවා. පේන්ටින්ග්ස් ටිකක් දිහා බලන් ඉන්නව වගේ නිවුණු හැඟීමක් එනවා. ‍ෆිල්ම් එකේ තියන අහිමි වීම සහ ඔවුන්තුළ ගොඩනැ‍ඟෙන කෘතීම ජීවිත ගට්ඨන වගේ දෙවල්වලට සිනමැටොග්‍රැ‍ෆි ප්‍රභල ලෙස දායක වෙනවා. අනික සවුන්ඩ් ඩිසයිනින්ග්. ගොඩක් වෙලාවට ‍ෆිල්ම් එකේ කතාව ෆීල්වෙන්නේ සවුන්ඩ්ස් හරහා. තොමස්ගේ ඇක්සිඩන්ට් එක සමීපම උදාහරණයක්.

හැම මිනිහෙක්ම ට්‍රයි කරන්නේ 'අහිමිවීම්' කියන එක නැති  කරගන්න. ඒක තමයි මිනිස්සු හැමෝගෙම ආශාව සහ උවමණාව. මේ වෙද්දි 'අහිමිවීමක' එක්තරා කොටසක් විද්‍යාත්මකව ජය ගන්න පුලුවන් වෙලා තියනවා. වූම්බ් හරහා මතුපිටින් අපිට එත්තු යන්නේ ඒක. ඒත් ප්‍රේමයේ ශුද්ධ වූ ප්‍රදේශය ට යාමට විද්‍යාවට හැකි වේද කියන තැනින් ‍ෆිල්ම් එක අපි තුළ ප්‍රශ්ණාර්ථයක් එක් කරනවා. තවදුරටත් අහිමි වීම් කියන්නේ සුන්දර උත්තේජයක් ද නැත්නම් රෙබෙකා වගේ  අහිමිවීමට ආදේශකයක් සොයා ගැනීමද. හමුවීමක් කියන්නෙම වෙන්වීමක් තියනව කියන එක. ඉතිං වෙන් වීමට සතුටින් මුහුණ දෙන්න. 'ක්ලෝනයක්' කියන්නෙත් තාවකාලික එක්වීමක් විතරයි. ඒ නිසා සැබෑ හමුවේ සුන්දර මතකයන් සමඟ තනි වෙන්න.

-තරිඳු ජයරත්න-