Monday, February 27, 2017

5 to 7 - 2014


ජීවිතේ ආපහු හැරිලා බැලුවම යන්න ආස හිතෙන තැන් වගේම, යන්න කැමති හැබැයි යන්න බය තැන් හැමෝගෙම ඉතිහාස කතාවල තියනවා. පැරණි ප්‍රේම සම්බන්ධතා හොයාගෙන අපි යන්න ට්‍රයි කරන අතරෙම සමහර සම්බන්ධතා එක්ක ආයෙ කනෙක්ට් වෙන්න බය හිතෙනවා. ඒ බය හිතෙන්නේ ඒ මතකයේ සුන්දර බව ඒ විදියට ම හදවතේ තැම්පත් වෙලා තියා ගන්න ඕනිකමට මිසක් ඒක ආයෙ පෑරෙන තුවාලයක් කර ගන්න ඕනි නැති නිසා. එහෙම සම්බන්ධයක් තියන මිනිහෙක් හම්බවෙනව කියන්නේ දවස් ගානක් එක දිගටම බිබී, සිංදු වලින් පටන් ගෙන ගොඩක් ඩෙප්ත් තැනකට කතාව ගෙනියන්න පුලුවන් වෙන එක. එක්තරා ගැහැණියක ට ආදරේ කරලා තාම දුක් විඳින මිනිස්සු, ඒ වගේම එක්තරා මිනිහෙක්ට ආදරේ කරල තාම දුක් විඳින ගැහැණු, පස්සෙ කාලෙක වෙනත් සම්බන්ධතාවල හිර වෙලා පැරණි වේදනාව මිහිරක් විදියටම තියා ගන්නවා. හැබැයි ඒ කතා අස්සේ සෙට්ල්ඩවුන් වුණු ගැහැණියකට හරි මිනිහෙක්ට හරි අහම්ඹෙන් වෙන ඇහැක් විදුලි කොටලා යනවා. සම්මත වුණු සම්බන්ධතාව තවදුරටත් සම්මතය තුළ රකිද්දී ඔවුන් අර විදුලිකොටපු ඇස් අස්සේ තනි වෙනවා. දස්කොන්-ප්‍රමිලට පෙර ඉඳලා නූතන අපේ කතාවක් දක්වා ඒක එහෙම වෙනවා.

අසම්මත ප්‍රේමකතාවක මරණ පරීක්ෂණය කරමින් ඉන්න මේ වගේ කාලෙක මට යාලුවෙක් ෆිල්ම් එකක් දෙනව. ඔහු ෆිල්ම් එක දෙන්නේ පාලක පරීක්ෂණයක් විදියට. හැබැයි ෆිල්ම් එකෙන් වුණේ, 'ප්‍රේමයේ මරණ පරීක්ෂණය' ට වඩා මාව විවච්ඡේදනය වෙන්න පටන් ගත්ත එක. ෆිල්ම් එක වික්ටර් ලෙවින්ගේ, '5 to 7'.

හරිම කාම් ලයිෆ් එකක් ගෙනියන මොහොතක, අහම්ඹෙන් දැකපු ඇස් දෙකක් නිසා හිත ගිනි ගන්න පටන් ගත්තේ දැනට අවුරුදු එක හමාරකට වගේ කලින්. ඔහේ ගෙවුනු ජීවිතේ උඩු යටිකුරු කරන්න ඒ ඇස් වලට පුළුවන් වෙනවා. ඒ ඇස් වලට ලව් කරන්න පටන් ගනිපු ජීවිතේ විවඡේදනය කරන්න පටන් ගන්න වෙන්නේ අමරදේව මෙහෙම කියන තැන ඉඳල.

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා...

බිඳුනු දැහැන් අස්සේ හැමදාම පේන්න ගත්තේ ඒ ඇස්. ඒත් ඒ පා සළඹ සහ ඇස් ආයේ දකින්න වෙන්නේ නෑ කාලෙකට. අමරදේව එහෙම කියද්දී,

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ...
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්...
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...

සුනිල් පෙරේරගේ කටහඬ එහෙම දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඔහොම කාලයක් යනව. ඒ ඇස් මතකයක් විදියටම තියෙද් දී ටික කාලෙකට පස්සේ ආයෙත් ඒ ඇස් හමුවෙනවා. යටපත් වෙන්න පටන් ගනිපු මතකය පාරගෙන අමරසිරි මෙහෙම කියන්න පටන් ගන්නවා.

ඔබ ආයෙමත් ඇවිදින්...
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගුකාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

දීර්ග ප්‍රොලොග් එකකින් පස්සේ ජීවිතේ ඒ ප්‍රේමණීය මතක පරිච්ඡේදය ලියවෙන්න පටන් ගන්නේ එතැන් සිට. ෆ්‍රස්ට් චැප්ටර් එකේ පළවෙනියටම ලියවෙන්නේ, චාමරගේ සහ රාජිකාගේ මේ සිංදුව..,

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනි පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න

ඇය අන්සතු ලඳක්. දීර්ග කාලයක ප්‍රේම සම්බන්ධයක් ඇයට තියනව. ඒත්,

දැන් ඉතිං වෙන කුමක් කරන්නද.
දන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරේ කරනු මිස
ආදරේ කරනු මිස

ඉර හඳට වඩා අපි ඈත බව දන්නවා
ඒ උනත් අහම්ඹෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

හඳයගෙ වචන ඇහෙනවා අතුලගෙ කටහඬින්. අන්සතු උනත් ආපු හැඟීම නවත්ත ගන්න බෑ. ඇය කැමති නෑ, ඇයගේ සැබෑ පෙම්වතාට පිටු පාන්න. ඒත් කාලයත් එක්කම වික්ටර්ගෙන් නිරංජලාට පලා යන්න බැරි වුණා වගේ ඇය ද අකුණු වැදුනු ඔහු ද සඳක් සහ තරුවක් ලෙස රෑ අහසේ භෞතීස්ම වෙනවා.

සඳට අහස ආදරේදෝ. හ්ම්.. හ්ම්ම්..
මලට බඹරු ආදරේදෝ.. හ්ම්.. හ්ම්ම්..
දෙනෙතට වත ආදරේදෝ.. හ්ම්.. හ්ම්ම්..
සොඳුරියෙ මට ආදරේදෝ.. නෑ.. නෑ...

සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ? හ්ම්..හ්ම්ම්....
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ? හ්ම්..හ්ම්ම්....
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ ? නෑ නෑ නෑ....
සයුරෙහි දිය කඳුලක් තරමින් වත් ආදරෙයි නේදෝ? නෑ නෑ නෑ.....
එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනවදෝ... ම්ම්..ම්.....

පද සහනයි - සඳ පහනයි
පද මවනයි - මඳ පවනයි
වසර සසන තුරු - සසර වසන තුරු
අම මාදරෙයි - මම ආදරෙයි

අසම්මත පෙම් කතාව දළු ලා වැඩෙන්න පටන් ගත්තා. ඒ ගොඩක් ඉන්ටලෙක්චුවල් ලේයර් එකක. අකුණු ගහන අන්සතු ඇස් දෙකක් තුළ කිමිදෙද්දී ආයේ වික්ටර් ඇහෙන්න ගන්නවා මහ රෑට. නිදි මරාගෙන ගෙවෙන දවස සම්මත ඔරොලෝසුවෙන් බෙදෙද්දී අසම්මත ඔවුන්ගේ ලෝකෙ ඔවුන් තනි වෙනවා.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
හඳ පානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මද අඳුරේ
හඳ පානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ

නිශාචර ප්‍රේමයක්. අසම්මත පෙම් කතාව එළියෙ බිල්ඩ් කරන්න අමාරුයි. හැමතිස්සෙම කොහේ හරි සැඟවුණු තැනක, ලෝකයම සුවෙන් නිදාගන්නා වෙලාවක තමා මේ පෙම්වතුන් ප්‍රේම කරන්නේ. රැය පමණක් ඔවුන්ගේ පෙම් කතා අසා සිටින අතරේ අමරදේව ආයේ පිරිමි හිතක් කූද්දනවා සියුම්ව,

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම්....

නුපුරුදු ඒ හැඟීම නැතිව බැරි තැනකට ගේන්න ඇය සමත් වෙනවා. දැන් ඒක සුපුරුදු වෙනවා ටික ටික. එහෙම වෙද්දී ලක්ෂ්මන් සහ සමිතා සමඟ සිනා පිපෙනා වසන්තයේ ඇවිදින්න පටන් ගන්නවා.

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සැඟවමි හද සෙනේ සුසුමින්...

මේ සුන්දර කාලේ පවතින්නේ නෑ වැඩි කාලයක්. පවතින්න බැරුව යනවා. ඇයට ඇයගේ එක්සිස්ටන්ස් එකේ තියන සම්බන්ධයෙන් ගැලවෙන්න අපහසුයි. මේ එෆයර් එක පටන් ගන්නේ එක්තරා මොහොතකදි නවත්වන්න ඕනි කියන කොන්දේසියක් මත. නමුත් අසම්මත පෙම්වතාට එය නවත්ව ගන්න බැරුව යනවා. ඔහුට ඇය අයිති කරගන්න හිතෙනවා.

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැති
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ඔහු දිගින් දිගටම උත්සාහ කරනව. අසම්මත පෙම්වතාගේ මුරණ්ඩුකම අස්සේ ඇය ඈතට යනව සෙමෙන් සෙමෙන්. ඔහු ඇයව ළං කර ගන්න ෆුල් වේට් එක දාද්දිම,

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

යළි කවදාවත් හමුනොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය නොඑතැයි ගිම්හානෙට පෙර

අමරසිරිත් එහෙම කියන්න පටන් ගන්නවා. ඔහු ඒක අහගෙන කපුගේත් එක්ක බොන්න පටන් ගන්නවා.

ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

ඔහුට තව තව මත් වෙනවා.

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනි වේවි එක්ටැම් ගේ...

එක්ටැම්ගේක තනිවෙලා සිහිවිකල් වෙන තරමටම වෙරි උනාම ඔහුට, ඔවුන්ගේ අසම්මත ආලේ සීමා මායිම් අමතක වෙලා යනවා. ඔහු ඇයට අවසිහියෙන් දෝශාරෝපනය කරන්න පටන් ගන්නවා.

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ

ඔහු මධුමතින්, අවසිහියෙන්ම නින්ද යනවා. දීර්ග නින්දක්. චිටී ඇවිත් ඔහු ඇහැරවනවා.

ඇහැරෙන්න ඇහැරෙන්න ඉතිං දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිනිගත්ත ඒ ප්‍රේම වසන්ත සිහිනෙන්
ඇහැරෙන්න

නිදි මැලි කඩමින් දිගින් දිගටම ඔහු සම්බන්ධතාවල අරුත් හොයන්න ට්‍රයි කරනවා. හිස් බවක් ඔහුව වෙලා ගන්නවා.

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරළේ රළ මැන්නා..
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී..

දැන් ඔහු ප්‍රකෘතියෙන් තම අසම්මත ආදරේ දිහා බලනවා. අමරදේවයි මිල්ටනුයි ඔහුට සපෝර්ට් කරනවා.

එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ
.
මිය යමි මනුලොව හමු වෙමි පෙම් ලොව

ඔහු හිත හදා ගන්න ට්‍රයි කරනවා. ඔහු බොරු රීසන් එකක් මිල්ටන් එක්ක එකතුවෙලා හදා ගන්නවා, හෘද සාක්ෂියෙන් ගැලවෙන්න. ඔහුට ඉනර් පීස් එකක් උදා කරගන්න.

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුභ පතමි
ඔහුටද ඔබටද සුභ පතමි...

දැන් ඔහුගේ ජීවිතය වෙනස් වෙලා. අයිඩියෝලොජි එක පවා යම් යම් තැන් වලින් වෙනස් වෙන්න පටන් ගෙන. සම්බන්ධතා වල පවතින සදාකාලික වේදනාව ඔහු හිතින් දරාගෙන නිකොටීන් ස්වල්පයක පහස හොයාගෙන ඔහු එළියට යනවා.

වික්ටර් ලෙවින්, 5 to 7 හරහා මාව විවඡේදනය කරන්නේ ඒ විදියට. හරිම සරල ෆ්ලැට් ෆිල්ම් එකකින් මාව කළඹවනවා ගොඩක් නොහිතන ලේයර් එකක ට.

ප්‍රේමය සම්මත, අසම්මත හෝ අනියම් ලෙස බෙදන එක හරිම අසාධාරණයි. නමුත් හඳුනාගැනීමේ සිම්බල් එකක් විදියට ඒක මරු. දස්කොන් ප්‍රමිලා සිම්බල් එක වගේ. අනික අපිට බෑ කිසිම කෙනෙක් සදාකාලිකවම අපි ලඟ තියා ගන්න. ෆියන්සේ යන්න හදන මොහොතේ ඇයට හෝ ඔහුට යන්න දෙන්න ඕනි. තවදුරටත් හෝල්ඩ් කරන් ඉන්න එකෙන් වෙන්නේ වේදනාවක් ඉතිරි වෙන එක. නවතින කෙනාගෙ විප්‍රලම්භය සහ යන කෙනාට යන්න දෙන්නේ නැති නිසා එයාට අකමැති කෙනෙක් එක්ක ඉන්න වෙන වේදනාව. ලූශන් වෙන් වෙන පෙම්වතුන් ගැන ලස්සන පැහැදිලි කිරීමක් කරනවා, වචන කිහිපයකින්.

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ,
එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ.
වෙන් වී ගිය වුන් සදාකල් පෙම්වතුන් ලෙස ම ජීවත් වේ."

-තරිඳු ජයරත්න-