Wednesday, April 12, 2017

La La Land - 2016



සමහර දේවල් නොලියා නොකියා ඉන්නතාක් මරු. තමන් ඇතුළෙම ඒක පැසවද්දී, පිච්චෙද්දී හරිම රොමෑන්ටික්. 'ලා ලා ලෑන්ඩ්' කියන්නෙත් ඒ වගේ පීස් එකක්. ලියන්න ගියොත් ෆීල් එක මිස් වෙවි කියල මෙච්චර කල් හිටියේ. ඒත් දැන් ඒක තනියම රහ විඳපු කාලේ ඇති. දැන් වමාරන්න ඕනී. ඊට පස්සේ වෙන රහක් හම්ඹවෙන්න පුලුවන්. ජීවිතේ එහෙම වෙලා තියනවා. මේ එහෙම වෙන රහක් හොයා ගන්න හදන පුංචි ට්‍රයි එකක්.

'ඔබ මලකට ආදරේනම්, මල කඩන්න එපා. මන්ද කැඩුණු මල ඉක්මනින්ම පරවෙනව. මලට ආදරේ නම් මලට මල විදියටම තියන්න. ආදරය කියන්නේ අයිති කර ගැනීම ම නෙවෙයි. ආදරය කියන්නේ අගය කිරීමක්.'

ආදරය ගැන ඕශෝ එහෙම කියනවා. 100% ක් එකඟ නැති වුණාට මම හරි ආසයි ඒ ක්වෝට් එකට. පරණ ක්‍රශ් දකිද්දී හරි මතක් වුණාම හරි හිතෙනවා එහෙම. ඒ හැම කෙනෙක්ම (ක්‍රශ් වගේම හිටපු පෙම්වතියන් ද) අද වෙන වෙන ලෝකවල් වල. ජීවිතේ හොයාගෙන ඔවුන් යනවා. මට පවා අද ඔවුන් (එක් කෙනෙක් හැරුනම) මතක් වෙන්නේ බිව්වම, සිංදුවක් ඇහුවම හෝ ඒ සම්බන්ධ ඉන්සිඩන්ට් එකක් වුනාම. ජීවිතේ අපි ප්‍රාර්තනා කරපු දේවල් එහෙම ම අවසන් වෙලා යනවා. හැබැයි ඒ අවසානය වෙනත් දෙයක ආරම්බයක්. ඒ ආරම්බය ඊට වඩා පොඩ්ඩක් හරි විශාල වුණු පරාසයක තමයි විහිදෙන්නේ. ඒ නිසා අපි ඒ ඒ අවසානය මොහොතවල් ගැන පස්සේ කාලේක ආස කරන්න පටන් ගන්නවා. ඒ නොස්ටැල්ජික් සතුට අපි දැන් මේ තැන ඉන්නේ ඒ කැපකිරීම නැත්නම් අහිමි වීම නිසා කියලා. හැමවිටම වෙලා තියෙන්නේ කලින් එකට වඩා හොද දෙයක් හමුවීම.

එහෙම අහිමි වුණු කෙනෙක් පසු කාලෙක මතක පිරිණු තැනකදි හමු උනෝතින් ලේයර්ස් ඔක්කෝම කඩාගෙන පටන්ගනිපු තැනටම ආයේ අපි යනවා. මට සාපේක්ෂව වඩාත් සුන්දරම ඒක. එකල අපේ හමුවේ තිබූ ආදරනීය බව දැනෙනව හරිම සුන්දර විදියට. ඒ 'ඇත්ත අපිට' ආදරය කරපු කෙනා නැත්නම් මිනිස්සූ නිසා. දැන් අපේ විවිද වෘතීය සම්බන්ධතා අස්සේ මීට් වෙන අයට වඩා ඒ අය හෘද්‍යාංගමයි. ඒ වගේම මේ මොහොතේ අපේ පවතින රිලේශන්ශිප්ස් සැටිස් නැත්නම් කොහොමත් ඒ මතකය ඔස්සේ එකල ආදරය අතපත ගාන්න බලනවා. ඒ 'වෙන්වීම'  සිදු නොවුනානම් වගේ දෙයක් එනවා. නැත්නම් ඒක වෙනස් කරන්න තිබ්බනම් කියල එකක් එනවා. හැබැයි ඒ මොහොත වෙනස් කරන්න අපි දැං කැමතිත් නෑ. 'ලා ලා ලෑන්ඩ්' මට පටන් ගන්නේ එතැනින් එකෙන්.

සෙබස්තියන්ගේ හෝන් එක,

ඒක පටන් ගන්නේම ඇරියස් එකකින්. හැබයි පටන් ගන්න ඕනිම තැනින්. තරහින්, නොහිතන වෙලාවක නැත්නම් ප්ලෑන් නොකර කරන දේවල් ගොඩක් වෙලාවට වැඩ කරනවා හිත්නවත් බැරි තරම් හොඳින්. අහම්බය කියන දේට අකමැති වුණත් ජීවිතේ අහම්ඹෙන් හරියන දේවල් තියනවා ඕනි තරම්. ජීවිතේ හැම දේම අහම්බයට පවරල පැත්තකට වෙන්න පුලුවන් කියන එක නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ.

හිච්කොක්ගේ 'බර්ඩ්ස්' බැලුව ලඟකඳි ආයේම. ප්‍රේමයෙන් ආතුර වෙන හදවතක් ගැන තියන හොඳම සිම්බොලයිස් කිරීම තියෙන්නේ බර්ඩ්ස් වල. කුරුල්ලන්ව යූස් කරල ගොඩ නඟන ඒ මෙටෆර් එක මරු. ඒ තරම් ඩෙප්ත් එකකට යන්නේ නැතිව වුනත් ලා ලා ලෑන්ඩ් අස්සේ හරිම හියුමන් විදියට කතාව ගොඩ නැඟෙනවා. සුන්දර ආදර කතාවක හැඟීම අපිට අත්දකින්න පුලුවන් වෙන විදියට. අපිත් ආදරය කරන්න පටන් ගන්නවා. පළවෙනි පාර දකින වෙලාව, පස්සෙන් යන කාලේ කට්ට කාල නම අනම් මනම් හොයා ගන්න වගේ දේවල් ඔක්කොම මතක් වෙනවා. ඒ වගේම ඒ කෙල්ලට වෙන කොක්කක් තියනව කියල දැන ගන්නත් ලැබෙනවා. ඒ කොක්ක අපිට වැඩිය ෆෝවර්ඩ් කියල විතරක් අපිට පේනවා. ඉතිං අපි පසු බහින්න නැතුව ඉදිද්දී හිමීට දෙන්නා අතර කනෙක්ශන් එකක් බිල්ඩ් වෙනවා. කැමැත්ත අහන්න විඳින දුක, අන්තිමට කොහොම හරි කියා ගන්නවා. ආයේ අතින් හරි අල්ලන්න තියන බය. ඔක්කොම අපිට වෙනව ෆිල්ම් එකේ.

එහෙම තියන ආදර කතා ගමන් කරන්නේ එකිනෙකාගෙ මුල් පිහිටුම් වලට කැමැත්තෙන්. ඒත් පස්සේ කාලෙක වෙනස් වෙන්න බලනවා අපි. අප්ඩේට් වෙන්න. ඒත් ඒ අප්ඩේට් එකත් එක්ක ලව් එක පුස් කනවා. නැත්නම් ලව් එක අස්සට අනවශ්‍ය දිලීර ගමන් කරන්න පටන් ගන්නවා. ජීවිතේ කියන්නේ ප්‍රාර්තනා කරන දේවල් ඒ විදියටම වෙන එක නෙවෙයි. වෙන දේ පිලිගන්න එක. ඉතිං ඔවුන්ගේ ඒ සම්බන්ධය මැදට දිලීර ආසාදනය නිසා සම්බන්ධතාව ඩිස්කනෙක්ට් වෙනවා.

මං කැමතියි මේ වෙන් වීමට. ඔවුන්ගේ සම්බන්ධතාව එහෙමම තිබුන නම් ලා ලා ලෑන්ඩ් කියල එකක් නෑ අද බලන්න. ඒ නිසා මේ වෙන් වීමට මං ආදරේ කරනවා. අපිට නොස්ටැල්ජික් ෆීල් එක එන්නේ ඒ වෙන් වීමේ සාධක නිසා. ආයෙ මුල් ටිකම, ෆිල්ම් එක එන්ඩ් වුණු තැන කියන්නේ මට ෆිල්ම් එක පටන් ගන්න තැන. 'ලා ලා ලෑන්ඩ්' සරල ආදර කතාවක සරල නොවූ හැඟීමක්. එක් නොවූ පෙම්වතුන්ට හොඳ ඖෂධයක්. ගීතාංජලියෙන්ම මේක අවසන් කරන්නම්.

"එහෙත් දීමට හැකි වූ දේට වඩා මට ලැබුණි.
දැන් දිනය උදා වී ඇත.
මගේ අඳුරු කුටිය එළිය කළ පහන නිවී ඇත.
ඇරයුමක් ලැබ තිබේ.
ඉඳින්, මගේ ගමනට මා සූදානම්‍ ය."
-ගීතාංජලී

-තරිඳු ජයරත්න-

Monday, April 3, 2017

සුළඟ ගිනි අරන් - 2017



මිනිහෙකුට නැත්නම් ජීවියෙකුට කවදාවත් ගැලවිලා යන්න බැරි එකම දේ මරණය විතරයි. මරණය කියන්නේ ජීවියෙකුගෙ හයි එන්ඩ් එක. පුනර්භවය වගේ නැවත ඉපදීම්, කන්සෙප්ට් එකකින් එහා ඇත්තක් විදියට තාම මට දැනිල නෑ. ඒ නිසා මරණය තමයි මේ ඕඩිනරි ලෝකෙන්වෙන් වීම. ආයෙ නොඑන්නම. මරණය වගේ දෙයක් එක්ස්පීරියන්ස් එකක් විදියට එළියට ගන්න එක කරන්න අමාරුයි. අපි හැමදාම මරණය පරිභාහිර සාධකයක් මිස ඇතුළත දෙයක් විදියට අත්දැකල නෑ. කෙනෙක්ගේ වෙන්වීමේ හිස්තැනක වේදනාව විතරයි අපිට හැමදාම විඳින්න ලැබෙන්නේ. අපි බය මේ හිස් තැනට. 

සමහර නිර්මාණ බලල ටික කාලයක් යනවා ඒක ඔලුවෙ වැඩ කරන්න. විමුක්තිගෙ සුළඟ ගිනි අරං දැන් තමයි ඔලුවෙ ඔඩු දුවන්න පටන් අරගෙන තියෙන්නේ. සුළඟ එනු පිනිස, අහසින් වැටෙයි, චත්‍රක් හරහා සුළඟ ගිනි අරං වලට එද්දී දේශපාලනික සීමා අතික්‍රමනය කරගෙන ආධ්‍යාත්මික සීමා ස්පර්ශ කරන්න විමුක්ති සමත් වෙනවා. මං ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි විමුක්තිගෙයි සයිමන් නවගත්තේගමගෙයි ආර්ට් විසංවාදය. ඒ දෙන්නම තමන්ගේ නිර්මාණ හරහා ඇප්‍රෝච්‍කරන්නේ ගොඩක් වෙලාවට එකම කන්ටෙක්ස්ට් එකක්. සයිමන් සාහිත්‍ය හරහා ද විමුක්ති ෆිල්ම් හරහා ද දෙදෙනාගෙම පෞද්ගලික ජීවිත තුළින්ද අඩු වැඩි වශයෙන් ප්ලේ වෙන්නේ එකම දේ. සයිමන් ලයිෆ් එකේ එක්ස්ට්‍රීම් යද්දී විමුක්ති ආධ්‍යාත්මිකව වෙන තැනකට විතැන් වෙනවා.

සරලම අර්ථයෙන් ගත්තම ඉපදෙනව කියන්නේ මරණයේ සහතිකය ගන්න එක. ජීවිතය කියන්නේ මරණය වෙත යන ගමන් මාර්ගය. අපි ඒ පාරේ විවිධ දේවල් හොයාගෙන යනව. හැබැයි ඒ සොයා ගන්නේ කිසියම් වූ තේරුමක් සහිත දෙයක්ද කියල හැමදාම හිතෙනව. ඒ දේ ලබා ගත්තම කිසිම තේරුමක් නෑ. ෆිල්ම් එකක් කරන්න පෙරුම් පුරන කෙනෙක්ට වගේම මරණය ප්‍රාර්තනා කරන කෙනෙක්ටත් ඒක අදාලයි. වෙනස වෙන්නේ මැරුණම ඒ දෙස බලන්න තමන් නැති එක. මට සාපේක්ෂව සුළඟ ගිනි අරං හාමුදුරුවෝ හරහා පේන්නේ ඒ දේ. අවසානයක් නැති ගමනක මැද ක්ෂුද්‍ර ලක්ෂ්‍යයක්. ඩොක්ටර් හරහා පේන්නේ ඒ ක්ශුද්‍ර ලක්ෂ්‍යයේ නිමා නොවෙන ප්‍රසාරණය. හාමුදුරුවෝ ජීවිතේ සංකෝචනය කරන්න ට්‍රයි කරද්දී ඩොක්ටර් ප්‍රසාරණය කරන්න ට්‍රයි කරනවා. 

අපේ ජීවිත විවිධ මාධ්‍යන් හරහා තාමත් කරන්න ට්‍රයි කරන්නේ මේ ප්‍රසාරණය. මං සුළඟ ගිනි අරං බලන්නෙම ඒ ප්‍රසාරනයේ එක සංදිස්ථානයක් වශයෙන්. ඒත් ෆිල්ම් එකෙන් අපේ ව්‍යාජ ජීවිතේ අපි ඉස්සරහම ආයේ ප්‍රතිනිර්මාණය කරනවා. අපිට ෆිල්ම් එක අමතක වෙලා මේ අපේ ජීවිතේ නේද කියල මතක් වෙන්නේ එතැන් සිට. ෆිල්ම් එකයි ජීවිතෙයි දෙකක් කියල වැටහෙන්න ගන්නේ නෑ. ඒ වෙනුවට අපේම අභ්‍යන්තරික අවුල ඩිස්ප්ලේ වෙනව අපි ඉස්සරහම. ෆිල්ම් මේකර් කෙනෙක් විදියට විමුක්ති සාර්ථක වෙන්නේ(සරල අර්ථයෙන්) ඒ නිසා. හැබැයි කෙනෙක්ගේ ජීවිතයක් ඩිස්ප්ලේ වෙද්දී අපිට ඩිස්ප්ලේ එකේ නොයිස් පේන්න ගන්නවනම් ඒ ෆිල්ම් එකේ අවුලකට වඩා අපේ පෙනීමේ අවුලක්. අපේ ඇස් අස්සේ පේන්නේ ඊනියා බුඩිසම්, නැත්නම් ව්‍යාජ ලයිෆ්. ස්ටීව්, මහේන්ද්‍ර, සුරංගා, සුලෝචනා, රොෂාන්, කෞශල්‍යා වගේ කැරැක්ටර්ස් අස්සේ අපේම ජීවිත විවිධ අයුරින් ප්‍රතිනිර්මාණය වුණත්, හාමුදුරු දෙන්නා ගැන එන්නේ ඊටවඩා පසුගාමී වුණු අයිඩියා එකක්. මරණය වෙනුවෙන්ම සිටිනා හාමුදුරු දෙන්නා අපිට නිස්සාරත්වය මතුකර දෙන්න නෑ. ඒ දෙන්නා දැක්කම ජීවිතය ගැන පැශන් එකක් නැත්නම් රාගයක් ඇති වෙනවා. සයිමන්ගෙන් විමුක්තිගේ හාමුදුරුවෝ විස්තාපනය වෙන්නේ, ඒකෙන්. සයිමන් ඩෙප්ත් එකකට යන හාමුදුරු කෙනෙක් ගෙනෙන විට විමුක්ති මතුපිට ශූන්‍ය හාමුදුරු කෙනෙක් ගේනවා. නමුත් විමුක්ති, හාමුදුරුවෝ හැර බාහිර කැරැක්ටර්ස් වලින් හාමුදුරුවෝ පෙනී සිටින නිස්සාරාත්වය ගේන්න ට්‍රයි කරනවා. මං කැමති සහ මට සෙට් වෙන්නේ  ඒක.

සියලු භෞතික ආශාවන් පස්සේ දුවල අන්තිමට මැරෙන්න හිතාගන්න කෙනෙක්, (නිකන්ම නෙවෙයි, කැලයක, වලක් කපල, ඒකේ ගිනි තියාගෙන.) ගැන මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ශිෂ්ටාචාර ගත වුණු මිනිසා කැලේ අතහැරල නාගරීකරණය වෙනව පසු කාලීනව. පරිණාමය ඔස්සේ ඒ ආපු ගමන් මඟේ මිනිසා ස්වභාදහමට අභියෝග කරන්න පටන්ගන්නව. ස්වාභාවිකත්වය අභියෝග වෙලා සියලු ජීවීන් අතරෙන් මිනිසා උඩට එනව. හැබැයි මිනිසා සියළු බැඳීම් අල්ලගෙන එන්නේ. ඔහු ජාලයක් වගේ බැඳීම් සමුදායකම හිර වෙනවා. සමහර බැඳීම් නැති වීම වගේම ඇති වීම නිසාත් වේදනාවක් පටන් ගන්නව. දැන් අපි මේ ජීවත් වෙන්නේ ඒ කාර්තුවේ. ඒත් හැමතැනම බැඳීම් තිබ්බත් අපි හරිම හුදෙකලා චරිත. ඩොක්ටර් මේ කාර්තුවෙ ලඟා වෙන්න පුලුවන් කියල හිතෙන හැම දෙයක්ම ලඟා කර ගන්න බලනවා. ඒත් ඩොක්‍ටර් මේ කිසිත් නැති බව ගැන ඩොක්ටර් තුළින්ම සංවාදයක් පටන් ගන්නව. ඩොක්ටර් මරණය තෝර ගන්නේ ඒ නිසා. හැබැයි ඒ පවතින යතාර්තයේ මරණයක් නෙවෙයි. ආයේ ශිෂ්ටාචාරයේ මුල් හොයාගෙන යන්න හදන මරණයක්. හැබැයි ඩොක්ටර් එක දෙයක් තේරුම් ගන්නේ නෑ. කිසිත් නෑ කියල හිතාගෙන තෝරාගන්නා මරණය පැරඩොක්සිකලි ජීවිතයක් ආයේ ගොඩ නැගෙන බව. ඩොක්‍ටර් මරණය අල්ල ගනිද්දී (සිතුවිලි වලින්), හාමුදුරුවෝ මරණය අත්හරිනවා. ඒ නිසා හාමුදුරුවෝ චොයිස් එකක් හොයා ගනනේ නෑ, එන දෙයකට ෆේස් කරනවා. ඩොක්‍ටර් චොයිස් එකක් හොයා ගන්නවා. ඒ සඳහා වැඩකරනව. අන්තිමට මරණය කියන්නේ ඩොක්ටර්ගේ ‍තෝරාගැනීමට තේරීමක් නොවුණු සාධකයක්. 

අපි දුවන මේ හිස්බව අවසන් වෙන්නේ අවසානයක් නැති ඇරඹුමක් වෙතද. ගිනි ගනිපු සුළඟකින් වෙන්නේ හාත්පසම ගින්දර ව්‍යාප්ත වෙලා යන එක. දැන් මේ සුළ‍ඟෙන් ගිනි ගන්න සූදානම් වෙන්න. 

නැහැ.

ඒ කිසිවක් ෆිල්ම් එකද විමුක්තිද කලේ නැත. මේ තත්පරේට ෆ්‍රේම් විසිපහට එහා යන සිතුවිලි ධාරාවේ නිරූපණයක් විතරයි. 'සිතුවිලි අතහරින්න'. විමුක්ති අවසාන වශයෙන් කියන්නේ ඒකද. එහෙනම් අපි තවම සිතුවිලි අල්ලගෙන. ෆිල්ම් එක මට මිස් වෙලාද.


-තරිඳු ජයරත්න-