Thursday, May 25, 2017

නිම්නයක හුදකලාව - 2016


මම මුලින්ම 'නිම්නයක හුදකලාව' බලන්නේ මීට අවුරුදු එක හමාරකට දෙකකට වගේ කලින්. සීමිත ප්‍රේක්ෂක දර්ශනයක. සිනමාවේ දිග පළල හොයන සහ හදාරන DFA ශිෂ්‍යයෙක් විදියට.

ඊටත් කාලෙකට පස්සේ මම ටොම් ටයික්වර්ගේ 'රන් ලෝලා රන්' බලනවා. ඊට පස්සේ වෙන්නේ 'නිම්නයක හුදකලාව' සහ 'රන් ලෝලා රන්' කම්පෙයා කරන/වෙන එක. ඒත් ඒක කර ගන්න බැරුව යනවා. අන්තිමට ඒ වැඩෙත් අතඇරලා ඒ හීනෙන් ඇහැරෙනවා.

කාලයක් ගෙවිලා යනවා.

'නිම්නයක හුදකලාව' හෝල් වලට රිලීස් වෙනවා. සීමිත දින ගනනකට. මම ආයේ ෆිල්ම් එක බලන්න යනවා. හැබැයි දැන් යන්නේ වෙනත් වෘත්තිකයෙක් විදියට.

බූඩිව මට මුලින්ම හම්බ වෙන්නේ 'මිල්ලේ සොයා' තුළින්. ගොඩක් කාලෙකට කලින්. මිල්ලේ සොයා එකේ තිබ්බ වෙනසට ඒ කාලේ ආශක්ත වෙනවා. නමුත් පස්සේ කාලෙක මාතා නිසා බූඩිව ඈත් වෙනවා. ඒ ඈත් වෙලා ඉන්න කාලේ තමයි 'නිම්නයක හුදකලාව' මුලින්ම බලන්නේ.

ලංකාවේ පටු කියවීම් අස්සේ ප්‍රසිද්ධ කතාවක් තියනවා තේරෙන්නේ නැත්නම් ඒක ආර්ට් හවුස් නැත්නම් NGO ෆිල්ම් එකක් කියල. ඒ තේරෙන්නේ නැති, ඉවර උනා කියල දන්නෙ නැති, වයිඩ් ශොට්ස් තියන ෆිල්ම්ස් ගැන එහෙම කතිකාවකට යද්දී ෆාස්ට් කට්ස් තියන, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප්ස් තියන ෆිල්ම් එකකුත් එන්ඩ් එකේ මිනිසුන්ට තේරෙන්නේ නැතුව යනවා. ෆිල්ම් එක ඉවර උනාද මුකුත් තේරුනේ නෑනේ වගේ තැනකට ස්පෙක්ටේටර්ස්ලා හිර වෙනවා. එහෙම හිර වෙන්නේ නිම්නයක හුදකලාව අස්සේ. බූඩී අපිව වංකගිරියක අතරමං කරල දානවා. දැන් මං මේ වංක ගිරියේ ඇවිදින්න පටන් ගන්නවා හරිම අපිළිවෙල විදියකට. බූඩී වගේම.

බූඩී දේශපාලනිකද?
ඔවු සහ නෑ. (සන්නගෙන් ඒක ඉස්සුවේ)

නිම්නයක හුදකලාව කියන්නේ අතිශය දේශපාලනික කෘතියක්. හැබැයි ෆිල්ම් එක ස්ක්‍රීන් කරන කාලේ වෙද්දී ඒ ගේන මතවාදය ටිකක් මිනිසුන්ගෙන් දුරස් වෙලා යන වකවානුවක්. LTTE එක සමූල ලෙස(?) ඝාතනය කරලා, කිරිබත් කාපු යුගය පසුකරගෙන කොඩියේ සිංහයා අව්වට වේලිලා පාංඩුව හැදුනු කාලයක්. ඒ පාංඩූ සිංහයට වටින් විට සේලයින් දෙන ගමන් තාමත් මිනීමරුවන් ගැන උදම් වන බහුතරයක් ඉන්න රටක ෆිල්ම් එක පෙන්නන්නේ. තාමත් මිනිසුන්ගේ හිත්වල තුවක්කු අනෙකාට මාන්නගෙන ඉන්නව පරන පුරුද්දට. ලේ සුවඳට. මේ සැරින් සැරේ මතු වෙන්නේ ඒවා.

හැමතිස්සෙම ID එක ඉල්ලන්නේ අපේ ඒ කාලය ගැන තියන හොඳම හැඟවුමක් විදියට. ඒත් ඒක ඊට වඩා දැනෙනවා අනන්‍යතාව පිළිබඳ අපි මේ මුහුණ දෙමින් යන අර්බුධය ගැන හිතද්දී. අනෙකාගේ අයිතිය නැතිකරලා, මේ ගොඩ නැඟෙන්නෙ අපිට ඉතුරු වෙන අනන්‍යතාවයද. ආයෙත් ඇහැරුනා.

ඉන්නේ සයිටම් එක ඉස්සරහ. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ප්ලේන්ටී එකක් බොන ගමන් සයිටම් එක දිහා බලාගෙන ස්වයං වින්දනය කර කර ඉඳපු රජයේ කැම්පස් එකක පොරක් එක පාරටම දුවගෙන යනවා. ඈතින්, නාල කරල, අලුත් විදියකට ඇඳගෙන එන කොල්ලො කෙල්ලො සෙට් එකක් සයිටම් එක ඇතුළට යනවා. මෙන්න මූ ආයේ එනවා. නිකන් නෙවේ. රජයේ කැම්පස් වලින් බිහිකරන සහ බිහිකරපු කුහක ඊර්ෂ්‍යාකාර හමුදාවක් එක්ක.

බූඩී උන් දිහා බලාගෙන බර කල්පනාවක්. පව් අසරණයො කියාගෙන චින්තා ත්‍රයිලෝකවිජය පත්‍රයක් රෝල් කරනවා. ආයේ ඇහැරෙනවා.

විමුක්ති සහ බූඩි මරණය ගැන එකිනෙකට වෙනස් වූ අර්තකථන ඉදිරිපත් කර ගන්නා මොහොතක්. ඒකත් හරිම ඉන්ට්‍රස්ටින්. මොකද බූඩී මරණය ගැන සහ පුනර්භවය ගැන හරිම මතුපිට ලේයර් එකක් ටච් කරන්නේ. ඒත් විමුක්ති ඊට වඩා දාර්ශනික හා ගැඹුරු මානයකට යනව තමන්ගේ කෘති හරහා. ඒ නිසා බූඩිගෙ ප්‍රකාශනයක් තුළ විමුක්ති පෙනී හිටීමම විමුක්ති නලුවෙක් ලෙස පෙනී සිටීනවට වඩා එහා ගියපු දාර්ශනික කාරනයක්. ෆිල්ම් එකේ ඇඩ් ඒජන්සියක සිටින ඔහු වෙනත් මානයක දී ඉන්නේ මෝටර් බයිසිකල් බාස් කෙනෙක් විදියට. ඒ එකම ෆිල්ම් එකේ. සුරංගා, ප්‍රෙග්නන්ට් ගෑණු (මරාගෙන මැරෙණ බෝම්බකාරියක්) කෙනෙක් වගේම පෙට්ටි කඩේකින් කිඹුලා බනිස් ගන්න දෙමල ගෑණු කෙනෙක්ගේ පෙනී හිටීමත් සිදුවෙනවා. අනික ලක්ශ්මන් මෙන්ඩිස්. හිඟන්නෙක්, මන්ත්‍ර හදි හූනියම් කාරයෙක් වගේම ගෙදර මිදුලේ බුදුන් වදින පොරක්.

සෞම්‍යට සජීවීව හමුවන කැරැක්ටස් ටික සෞම්‍යගේ ගන්ධබ්බ අවදියේ දී නැත්නම් කෝමා හෝ සිහිනමය තත්වයකදි එහෙම ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ සෞම්‍යගේ උතෝපියානු සිහිනද...? ආයේ ඇහැරෙනවා.

කිංස්ලී අනාවැකියක් කියමින් ඉන්නවා. TV ස්ටේශන් එකක. හරිම මොඩර්න් අනාවැකි කරුවෙක්. Tv ස්ටේශන් එකකට නෝමලි ගෙන්නවන කෙනෙක්ට වඩා වෙනස් කැරැක්ටර් එකක්. අනාගත අනාවැකිකරුවෙක්. සෞම්‍ය ජීවිතේ ගොඩක් දුර ගොස් ෆයිනෑන්ශියලි යම් ස්ථාවරත්වයක් ගොඩ නාඟාගෙන ඉන්නවා. ස්නේහයේ මංගල්‍යයේ සංගීතා ඔහුගේ බිරිද. හරිම සුන්දර සිහිනයක්. බොක්සර් ඇවිත් කකුල හපනවා. ආයෙත් ඇහැරෙනවා.

ජොබ් ඉන්ටර්විව් එකකට යන කොල්ලෙක්. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට. සිහින ගොඩක් ගොඩ ගහගෙන. මයිල්ස්ටෝන් කැරැක්ටර් කිහිපයක් පසු කරගෙන. උඩ දි අපිට අතරින් පතර හම්ඹ උනේ ඒවා. ඒත් ඒ සිහින ගොඩක උතෝපියානු යතාර්තයක් විදියට. ඒත් සමනලී එක පාරටම කොහෙන්ද එන්නේ. යතාර්තීය ඔෆිස් චරිතයක්ද. ඒත් තේ කඩේ තේ දාන රවින්ද්‍ර නම් ක්ලයන්ට් කෙනෙක්. කොහොමදඑහෙම වෙන්නේ. එතකොට සුපර්මාකට් එක. ජයලාල්.? සෞම්‍යයව සැරින් සැරේ එකම තැන එක්කගෙන ගිය තෙල් කරත්තය ඔහුගේ මේ සිහින ටික විසඳනව ද? ආයෙ ඇහැරෙනවා.

ෆිල්ම් එකේම කිංස්ලි මෙහෙම කියනවා, 
"මේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන අනාවැකි කියන්න බෑ. අඩුම තරමින් මටවත්."

‍ෆිල්ම් එකත් එක්ක තියන එකඟ වීම් ඒ පිළිබඳව තියන කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් මං ආසයි මේ ආකෘතිය හරඹයට.

බූඩි හරිම අපූරුවට වංකගිරියක මෙන්ටලි ට්‍රිප් එකක් ගෙනියනවා. ෆිල්ම් එක හරහා. 

බූඩී, හැට්ස් ඕෆ් මචං. 
cheers.

-තරිඳු ජයරත්න

Monday, May 15, 2017

තුන්වෙනි යාමය - 1983



90 දශකයට පෙර ලාංකික සිනමාව තුළ රැඩිකල් ඇප්‍රෝච් එකක් ගත්ත පිරිස එකල සිනමා ප්‍රතිශතයට සාපේක්ෂව හරිම සීමිතයි. මට සාපේක්ෂව ලෙස්ටර් ක්‍රාෆ්ට් එක වෙනස් කරපු පුද්ගලයා විතරයි. ඒත් ඒක ලංකාවට සාපේක්ෂව මරු වැඩක්. ලෙස්ටර්ගේ සිනමා භාවිතාව තුළ මාව ලොකුවට හොල්ලන්නේ නෑ. හරිම ඔඩ් ෆීල් එකක් ලෙස්ටර්ගේ ගොඩක් ෆිල්ම්ස් හරහා එන්නේ. ඒත් ලෙස්ටර්ගේ සිනමා මැදිහත්වීම සුළුකොට මම සලකන්නේ නෑ. අපි මේ දැන් ප්ලේ කරන්නේ ලෙස්ටර් මූලික වෙලා හදපු ග්‍රවුන්ඩ් එකේ. ඒ ගරුත්වය හැමදාම ඔහු වෙනුවෙන් තියනවා. ඔහුගෙන් පස්සේ ලාංකික සිනමාවේ ප්‍රභලම වෙනසක් සනිටුහන් කරන්නේ පතිරාජ සහ ධර්මසිරි. මට සාපේක්ෂව 90 ට පෙර සිනමාවේ ප්‍රභලම මැදිහත් වීම ඒ දෙන්නා. එයිනුත් පතී වාමාංශික දේශපාලන භාවිතා හරහා දේශපාලනික සිනමාවක් යෝජනා කරද්දී ධර්මසිරි ජීවිතේට ගොඩක් ළඟ සිනමාවක් ගේනවා. මම වඩාත් කැමති ධර්මසිරිට. ඔහුගේ සිනමාවට. පතිරාජ පසුකාලීනව නිර්මාණ වලිනුත්, සිය අයිඩියෝලොජි අතිනුත් වැඩ වලිනුත් අතිශය පරිහානියට පත්වෙද්දී ධර්මසිරි ඔහුගේ සුපුරුදු පොසිශන් එකේ ඉන්නවා. සමහර නිර්මාණකරුවෝ තරුණකාලේ තිබුනු රැඩිකල්කම වයසට යද්දී නැති වෙනවා. ඒ වෙලාවට තමයි හිතෙන්නේ ඒ අය අකල් මරණයකට මුහුණ දුන්නනම් මීට වඩා හොදයි කියල. කපුගේ සහ සේකර කියන්නේ එහෙම බේරුනු දෙන්නෙක්. ධර්මසිරි සහ අජිත් තිලකසේන කියන්නේ වයසට ගිහිනුත් තාම තරුණ වෙලා බේරිලා ඉන්න දෙන්නෙක්, පණ පිටින් මැරිල වගේ ඉන්න ප්‍රවීන නිර්මාණකරුවන් අතරේ. ධර්මසිරි ෆික්ශන් එකකට දෙදාහෙන් පස්සේ මැදිහත් වෙන්නේ නැත්තේ කරන්න පුලුවන් කාලේ කරපුවා ඇති නිසා වෙන්න ඇති. හැබැයි එහෙම ඉන්න එක වටිනවා. දැන් කරන්න ගිහිල්ලා නාගන්නවට වඩා.

ධර්මසිරි බණඩාරනායකගේ තුන්වෙනි යාමය ආයේ බැලුවා. ඒ ෆිල්ම් එකත් එක්ක තමයි මේ දේවල් ඔලුවෙ මෙහෙම පෙල ගැහෙන්නේ. ලංකාවේ ප්ලොට්ස් ඒ කාලේ කොච්චර ඉදිරියෙන්ද කියල හිතෙන්නේ මේ වගේ ෆිල්ම්ස් හරහා. ඒ සිනමා භාවිතාව ඇත්තටම දැනට සාපේක්ෂව ඒ කාලයට අනුව ගොඩක් ඉහල තැනක තියෙනවා. දැන් අපේ සිනමාවේ කතන්දර නැතුව වේලෙද්දී 70-80 කතන්දර කලාව දියුණු මාවතකට ගෙනියනවා. තුන්වෙනි යාමය ගැන ආයේ කතා කරන්න වෙන්නේ මේ කතන්දර කීමේ කලාවට එක් කළ වෙනසත් එක්ක. එකලට සාපේක්ෂව නැවුම් ආකෘතියක බිල්ඩ් වුණු 'තුන්වෙනි යාමය' මේ මොහොතේ බුඩීගේ 'නිම්නයක හුදෙකලාව' සමග කාලානුරූපි අරගලයක නිරත වෙනවා. හැබැයි 'තුන්වෙනි යාමය' කරපු ධර්මසිරිට බුඩීගේ 'නිම්නයක හුදෙකලාව' මිස් වෙනවා. දැන් කාලෙකට කලින් නිම්නයක හුදෙකලාව සීමිත දර්ශනයක් පෙන්නපු වෙලාවේ ධර්මසිරි කියනවා, ‍ෆිල්ම් එක විසිරෙනවා මට දැනෙන්නේ නෑ වගේ අදහසක්. බුඩී එක හරිම නිහතමානීව භාරගන්නවා. මට ඒ වෙලාවෙ ආපු ලොකුම ප්‍රශ්නේ උනේ තුන්වෙනි යාමය ස්ක්‍රිප්ට් එක, ඩිරෙක්ශන් වගේම එඩිටින්ග් සුපවයිසර්  වුනු ධර්මසිරිට නිම්නයක හුදෙකලාව මිස්වෙන්නේ ඇයි කියලා. ඒ ධර්මසිරි සහ බූඩීගේ කන්ටෙක්ස්ට් දෙකේ වෙනස නිසා වෙන්න ඇති ධර්මසිරිට 'නිමනයක හුදෙකලාව' හුදෙකලාවක් විදියට පේන්නේ.

මම ලංකාවේ ෆිල්ම්ස් නම් වලින් ආසම තුනක් තියනවා.

1.අක්ෂරය
2.සුළඟ එනු පිණිස
3.තුන්වෙනි යාමය

ඒ තුනෙනුත් 'තුන්වෙනි යාමය' තමයි ටිකක් ෆීස් කරවන නම නැත්නම් රොමෑන්ටික් නම. මේ ලියන්නෙත් රැයේ තුන්වෙනි යාමය ගෙවෙන මොහොතේ. මහ රෑ එළිවෙන්න කිට්ටුව කලින් දවස ගැන හිතත්දී දැනෙන්නේ, ජීවිතයේ සැදෑසමය ගෙවෙන මිනිහෙකුගේ අතීතාවර්ජනය වගේ දෙයක්. 

අපේ පටන් ගැන්ම, අපි ඉපදුනේ කොහොමද කියන එක පොඩි කාලේ ආපු ප්‍රශ්නයක්. කවුරු හරි ගෙනත් දුන්නා වගේ එකකට එහා යතාර්තයක් ඒ කාලේ හම්බ උනේ නෑ. ඒ එක්ක පාතාල සෙක්ස් එඩියුකෙශන් එකක් එක්ක ඒ ඒ දේවල් තේරෙන්න පටන් ගන්නවා. කොහොමද අපි එන්නේ, කොහොමද ඇති වෙන්නේ වගේ දේවල්. මම පළවෙනි පාරට පෝර්න් වීඩියෝ එකක් බලන්නේ 6 වසරෙදි වගේ. ඒ ඉස්කෝලෙදී 6-7 දෙනෙක් එකතුවෙලා. පොඩි ෆෝන් එකකින් බලපු පට්ට ලෝ කොලිටි 3GP වීඩියෝ එකක්. ඒක ඒ කාලේ 3D වගේ බැලුවේ. එච්චරටම ඉන්ට්‍රෙස්ටින්ග්. ඒ වීඩියෝ එකේ සීන්ස් ටික තාම මතකයි. සෙක්ස් කුතුහලය හොඳටම එන කාලයක් ඒක. ඊට පස්සේ සෙක්ස් දිහා බලන්න පටන් ගන්නේ ඒ වගේ එක්ස්පීරියන්ස් එක්ක. ඉපදෙන්නේ කොහොමද, ගැහැණු පිරිමි වෙනස් වෙන්නේ ඇයි, ඉපදෙන්නේ කොතනින්ද වගේ පොඩිම කාලේ ආපු ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නේ මේ පෝර්න් බලන්න පටන් ගැනීමත් එක්ක. ඒ අපේ එඩියුකේශන් සිස්ටම් එකේ තිබ්බ අවුල නිසා. සැකය නැතිවෙලා යනවා. සෞඛ්‍ය පාඩමේ ස්කිප් කරන සෙක්සුවල් එඩියුකේශන් අපි අවධිමත්ව ඉගන ගන්නේ ඒව තුළින්. 

ඉතිං තුන්වෙනි යාමය බලද්දී ආයේ රෝල් වෙන්නේ මේ අවුල නේද කියල් හිතුණා. අම්මයි තාත්තයි හොරෙන් සෙක්ස් කරනවා. හොරකමකට නැත්නම් වැරදි වැඩකට යනව වගේ ෆිල්ම් එකේ ඒ දෙන්නා සෙක්ස් කරන්න යන්නේ. ඉතිං ළමයට (පර්සිට) ඒ ගැන එන කුතුහලය වඩාත්ම සාධාරනයි. පර්සි යන්නේ ඒ කුතුහලය සන්සිදුව ගන්න. ඒකෙන් වෙන්නේ වැරද්දක් වගේ හැංඟිලා අම්මයි තාත්තයි සෙක්ස් කරන එක පුතා බලන් ඉන්න බව දකින තාත්තා අර්බුධයට යනවා. කුඩා පර්සිට තාත්තගේ පහරදීම් හමුවේ සෙක්ස් කියන දේ නිල් වෙනවා. ඒක හොදටම දැනෙන්නේ වසන්ත කොටුවැල්ල විසින් ඒ කැරැක්ටර් එක නිරූපනය කිරීමත් සමඟ. වසන්ත පර්සිට ආවේශවෙනවට වඩා වෙන්නේ පර්සි වසන්තට ආවේශවෙන එක. 

සෙක්ස් කියන්නේ පර්සීට කුණුහර්පයක්. ඒ වගේම භයානක මිශන් එකක්. ඒ මිශන් එක කොහොමද සක්සස් කරගන්නේ කියන දෙගිඩියාවෙන් තමයි ඔහු කසාද බඳින්නේ. ඒකයි හනිමූන් එකට ඈතම ජනශූන්‍ය ප්‍රදේශයකට ඔහු යන්නේ. මිශන් ෆේල්. ඔහුට බැරි වෙනවා ඒක. පොඩිකාලේ ආපු ගිල්ට් එකෙන් බෑ ඔහුට මිදෙන්න. ‍මුලු ෆිල්ම් එකේම යන්නේ මේ මෙන්ටල් ඉශු එකෙන් ගැලවෙන්න කරන අරගලය.

අපිව ආයේ හෝල්ඩ් වෙන්නේ කේමදාසගේ මියුසික් එක්ක. ප්ලොට් එක එකට එකතුකරලා ලොකු ඩෙප්ත් එකකට අපේ මනස ගෙනියන්න ඒ මියුසික් ගොඩක් උදවුකරනවා. මියුසික් නැත්නම් මේ ස්ට්‍රක්චර් එකෙන් කතාව කියන එක ධර්මසිරිට කරන්න අමාරුයි. ඒ වගේම ඇන්ඩෘ ජයමන්නගේ කැමරාව. මියුසික් සහ කැමරා වර්ක් එක තුන්වෙනි යාමයට බලපාන්නේ 'ලුණුමිරිසක' ලුණුයි මිරිසුයි වගේ. ඒ දෙක ලොකු දුරක් ‍ෆිල්ම් එක අරං යනවා.

-තරිඳු ජයරත්න.