Thursday, May 25, 2017

නිම්නයක හුදකලාව - 2016


මම මුලින්ම 'නිම්නයක හුදකලාව' බලන්නේ මීට අවුරුදු එක හමාරකට දෙකකට වගේ කලින්. සීමිත ප්‍රේක්ෂක දර්ශනයක. සිනමාවේ දිග පළල හොයන සහ හදාරන DFA ශිෂ්‍යයෙක් විදියට.

ඊටත් කාලෙකට පස්සේ මම ටොම් ටයික්වර්ගේ 'රන් ලෝලා රන්' බලනවා. ඊට පස්සේ වෙන්නේ 'නිම්නයක හුදකලාව' සහ 'රන් ලෝලා රන්' කම්පෙයා කරන/වෙන එක. ඒත් ඒක කර ගන්න බැරුව යනවා. අන්තිමට ඒ වැඩෙත් අතඇරලා ඒ හීනෙන් ඇහැරෙනවා.

කාලයක් ගෙවිලා යනවා.

'නිම්නයක හුදකලාව' හෝල් වලට රිලීස් වෙනවා. සීමිත දින ගනනකට. මම ආයේ ෆිල්ම් එක බලන්න යනවා. හැබැයි දැන් යන්නේ වෙනත් වෘත්තිකයෙක් විදියට.

බූඩිව මට මුලින්ම හම්බ වෙන්නේ 'මිල්ලේ සොයා' තුළින්. ගොඩක් කාලෙකට කලින්. මිල්ලේ සොයා එකේ තිබ්බ වෙනසට ඒ කාලේ ආශක්ත වෙනවා. නමුත් පස්සේ කාලෙක මාතා නිසා බූඩිව ඈත් වෙනවා. ඒ ඈත් වෙලා ඉන්න කාලේ තමයි 'නිම්නයක හුදකලාව' මුලින්ම බලන්නේ.

ලංකාවේ පටු කියවීම් අස්සේ ප්‍රසිද්ධ කතාවක් තියනවා තේරෙන්නේ නැත්නම් ඒක ආර්ට් හවුස් නැත්නම් NGO ෆිල්ම් එකක් කියල. ඒ තේරෙන්නේ නැති, ඉවර උනා කියල දන්නෙ නැති, වයිඩ් ශොට්ස් තියන ෆිල්ම්ස් ගැන එහෙම කතිකාවකට යද්දී ෆාස්ට් කට්ස් තියන, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප්ස් තියන ෆිල්ම් එකකුත් එන්ඩ් එකේ මිනිසුන්ට තේරෙන්නේ නැතුව යනවා. ෆිල්ම් එක ඉවර උනාද මුකුත් තේරුනේ නෑනේ වගේ තැනකට ස්පෙක්ටේටර්ස්ලා හිර වෙනවා. එහෙම හිර වෙන්නේ නිම්නයක හුදකලාව අස්සේ. බූඩී අපිව වංකගිරියක අතරමං කරල දානවා. දැන් මං මේ වංක ගිරියේ ඇවිදින්න පටන් ගන්නවා හරිම අපිළිවෙල විදියකට. බූඩී වගේම.

බූඩී දේශපාලනිකද?
ඔවු සහ නෑ. (සන්නගෙන් ඒක ඉස්සුවේ)

නිම්නයක හුදකලාව කියන්නේ අතිශය දේශපාලනික කෘතියක්. හැබැයි ෆිල්ම් එක ස්ක්‍රීන් කරන කාලේ වෙද්දී ඒ ගේන මතවාදය ටිකක් මිනිසුන්ගෙන් දුරස් වෙලා යන වකවානුවක්. LTTE එක සමූල ලෙස(?) ඝාතනය කරලා, කිරිබත් කාපු යුගය පසුකරගෙන කොඩියේ සිංහයා අව්වට වේලිලා පාංඩුව හැදුනු කාලයක්. ඒ පාංඩූ සිංහයට වටින් විට සේලයින් දෙන ගමන් තාමත් මිනීමරුවන් ගැන උදම් වන බහුතරයක් ඉන්න රටක ෆිල්ම් එක පෙන්නන්නේ. තාමත් මිනිසුන්ගේ හිත්වල තුවක්කු අනෙකාට මාන්නගෙන ඉන්නව පරන පුරුද්දට. ලේ සුවඳට. මේ සැරින් සැරේ මතු වෙන්නේ ඒවා.

හැමතිස්සෙම ID එක ඉල්ලන්නේ අපේ ඒ කාලය ගැන තියන හොඳම හැඟවුමක් විදියට. ඒත් ඒක ඊට වඩා දැනෙනවා අනන්‍යතාව පිළිබඳ අපි මේ මුහුණ දෙමින් යන අර්බුධය ගැන හිතද්දී. අනෙකාගේ අයිතිය නැතිකරලා, මේ ගොඩ නැඟෙන්නෙ අපිට ඉතුරු වෙන අනන්‍යතාවයද. ආයෙත් ඇහැරුනා.

ඉන්නේ සයිටම් එක ඉස්සරහ. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ප්ලේන්ටී එකක් බොන ගමන් සයිටම් එක දිහා බලාගෙන ස්වයං වින්දනය කර කර ඉඳපු රජයේ කැම්පස් එකක පොරක් එක පාරටම දුවගෙන යනවා. ඈතින්, නාල කරල, අලුත් විදියකට ඇඳගෙන එන කොල්ලො කෙල්ලො සෙට් එකක් සයිටම් එක ඇතුළට යනවා. මෙන්න මූ ආයේ එනවා. නිකන් නෙවේ. රජයේ කැම්පස් වලින් බිහිකරන සහ බිහිකරපු කුහක ඊර්ෂ්‍යාකාර හමුදාවක් එක්ක.

බූඩී උන් දිහා බලාගෙන බර කල්පනාවක්. පව් අසරණයො කියාගෙන චින්තා ත්‍රයිලෝකවිජය පත්‍රයක් රෝල් කරනවා. ආයේ ඇහැරෙනවා.

විමුක්ති සහ බූඩි මරණය ගැන එකිනෙකට වෙනස් වූ අර්තකථන ඉදිරිපත් කර ගන්නා මොහොතක්. ඒකත් හරිම ඉන්ට්‍රස්ටින්. මොකද බූඩී මරණය ගැන සහ පුනර්භවය ගැන හරිම මතුපිට ලේයර් එකක් ටච් කරන්නේ. ඒත් විමුක්ති ඊට වඩා දාර්ශනික හා ගැඹුරු මානයකට යනව තමන්ගේ කෘති හරහා. ඒ නිසා බූඩිගෙ ප්‍රකාශනයක් තුළ විමුක්ති පෙනී හිටීමම විමුක්ති නලුවෙක් ලෙස පෙනී සිටීනවට වඩා එහා ගියපු දාර්ශනික කාරනයක්. ෆිල්ම් එකේ ඇඩ් ඒජන්සියක සිටින ඔහු වෙනත් මානයක දී ඉන්නේ මෝටර් බයිසිකල් බාස් කෙනෙක් විදියට. ඒ එකම ෆිල්ම් එකේ. සුරංගා, ප්‍රෙග්නන්ට් ගෑණු (මරාගෙන මැරෙණ බෝම්බකාරියක්) කෙනෙක් වගේම පෙට්ටි කඩේකින් කිඹුලා බනිස් ගන්න දෙමල ගෑණු කෙනෙක්ගේ පෙනී හිටීමත් සිදුවෙනවා. අනික ලක්ශ්මන් මෙන්ඩිස්. හිඟන්නෙක්, මන්ත්‍ර හදි හූනියම් කාරයෙක් වගේම ගෙදර මිදුලේ බුදුන් වදින පොරක්.

සෞම්‍යට සජීවීව හමුවන කැරැක්ටස් ටික සෞම්‍යගේ ගන්ධබ්බ අවදියේ දී නැත්නම් කෝමා හෝ සිහිනමය තත්වයකදි එහෙම ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ සෞම්‍යගේ උතෝපියානු සිහිනද...? ආයේ ඇහැරෙනවා.

කිංස්ලී අනාවැකියක් කියමින් ඉන්නවා. TV ස්ටේශන් එකක. හරිම මොඩර්න් අනාවැකි කරුවෙක්. Tv ස්ටේශන් එකකට නෝමලි ගෙන්නවන කෙනෙක්ට වඩා වෙනස් කැරැක්ටර් එකක්. අනාගත අනාවැකිකරුවෙක්. සෞම්‍ය ජීවිතේ ගොඩක් දුර ගොස් ෆයිනෑන්ශියලි යම් ස්ථාවරත්වයක් ගොඩ නාඟාගෙන ඉන්නවා. ස්නේහයේ මංගල්‍යයේ සංගීතා ඔහුගේ බිරිද. හරිම සුන්දර සිහිනයක්. බොක්සර් ඇවිත් කකුල හපනවා. ආයෙත් ඇහැරෙනවා.

ජොබ් ඉන්ටර්විව් එකකට යන කොල්ලෙක්. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට. සිහින ගොඩක් ගොඩ ගහගෙන. මයිල්ස්ටෝන් කැරැක්ටර් කිහිපයක් පසු කරගෙන. උඩ දි අපිට අතරින් පතර හම්ඹ උනේ ඒවා. ඒත් ඒ සිහින ගොඩක උතෝපියානු යතාර්තයක් විදියට. ඒත් සමනලී එක පාරටම කොහෙන්ද එන්නේ. යතාර්තීය ඔෆිස් චරිතයක්ද. ඒත් තේ කඩේ තේ දාන රවින්ද්‍ර නම් ක්ලයන්ට් කෙනෙක්. කොහොමදඑහෙම වෙන්නේ. එතකොට සුපර්මාකට් එක. ජයලාල්.? සෞම්‍යයව සැරින් සැරේ එකම තැන එක්කගෙන ගිය තෙල් කරත්තය ඔහුගේ මේ සිහින ටික විසඳනව ද? ආයෙ ඇහැරෙනවා.

ෆිල්ම් එකේම කිංස්ලි මෙහෙම කියනවා, 
"මේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන අනාවැකි කියන්න බෑ. අඩුම තරමින් මටවත්."

‍ෆිල්ම් එකත් එක්ක තියන එකඟ වීම් ඒ පිළිබඳව තියන කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් මං ආසයි මේ ආකෘතිය හරඹයට.

බූඩි හරිම අපූරුවට වංකගිරියක මෙන්ටලි ට්‍රිප් එකක් ගෙනියනවා. ෆිල්ම් එක හරහා. 

බූඩී, හැට්ස් ඕෆ් මචං. 
cheers.

-තරිඳු ජයරත්න

No comments:

Post a Comment