Sunday, November 27, 2016

Cinema Paradiso - 1988


මාතර බීච්හට් එකක් යට ඉඳන් මේ ලියවෙන්න පටන් ගන්නේ. ඉදිරිය බැලුවම පේන්නේ මේසය මත ඇති අඩක් හිස් වුණු බුබුළු දමන බීර වීදුරුවක්. ඊටත් එහායින් හිරු මහ සයුරේ ගිලෙනා අයුරු. මඳ මත් ගතියක් එක්ක හිත දුවන්නේ ඊයේ ආයෙත් සැරයක් බලපු Giuseppe Tornatoreගේ 'සිනමා පාරාදීසෝ' (Cinema Paradiso 1988) පැත්තට.

මට හෝල් එකක බලපු ෆිල්ම් එකක් විදියට ඉස්සෙලාම මතක් වෙන්නේ, අක්කයි, තව ඥාති සොයුරියකුත් එක්ක රීගල් හෝල් එකේ බලපු 'නිසල ගිර'. මං හිතන්නේ එතකොට මට වයස අවුරුදු 14ක් වගේ ඇති. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ලේබල් එකෙන් ආපු ෆිල්ම් එකක්. කොහොම හරි ෆිල්ම් එක බලනවා අර දෙන්නා එක්ක. ඒ කාලේ ෆිල්ම් ලොකුවට තේරුනේ නැතත් නීටා, දමිතා වගේ කැරැක්ටර්ස් ඔලුවේ වැඩකරන්න ගත්තා. තාමත් නීටා, දමිතා පේන්නේ මට නිසල ගිර ඇතුළින්. එදා රීගල් හෝල් එක ගැන තිබ්බ ඉමේජ් එකත්, ෆිල්ම් පිස්සුවත් 'Cinema Paradiso' බලද්දි දැනුන හැඟීම දැන් ඔලුවෙ කැරලි ගහනවා.

'සිනමා පරාදීසෝ' ස්ටාර්ට් වෙන්නේ, පොඩි බඳුනක් ෆොර්ග්‍රවුන්ඩ් වෙලා ඈතින් ඉර බැහැගෙන යන ශොට් එකකින්. හරියට දැන් මම ඉන්න තැන වගෙ. මගේ බඳුන බීර වීදුරුවක්. වයසක ගෑණු කෙනෙක් ගන්න කෝල් එකක් හරහා ෆිල්ම් එක දිග හැරෙන්න පටන් ගන්නවා. අවුරුදු 30කින් ආපු නැති තම පුතාට ඇය කෝල් කරන්නේ.

මම ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්න මේ කාලේ අම්මයි අප්පච්චියි මම ගෙදර එනකම් බලන් ඉන්නවා. සතියකින් ගියේ නැතිවුනාම ලොකු කාලයක් වගේ ඒ ගොල්ලොන්ට තේරෙන්නේ. අපිව ලෝකෙට මුහුණ දෙන්න පුරුදු කරලා, අපි දැන් අපේ ලෝක හොයාගෙන යද්දී ඒ ගොල්ලෝ ගෙදර පුංචි ලෝකේ ඇතුලේ තනිවෙන එක ඒ දෙන්නට දරා ගන්න බැරි වෙනවා. මාව ඇහැරෙන්නේ ඒ සිදු වීමත් එක්ක. අර වයසක ගෑණු කෙනා තම පුතාට ගන්න කෝල් එකෙන්.

ටුටෝ දැන් (‍ෆිල්ම් එකේ වර්තමානය) ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. අවුරුදු 30කින් මේ අතීතයට දුවන්නේ ඔහු. ඔහුගේ අහිමිවීම්.

එදා ඉදන් නොස්ටැල්ජික් එක්ක ජිවත් වෙන්න කැමති මම, සිනමා පාරාදීසෝත් මගේ නොස්ටැල්ජික් එකක් වෙනවා. ටුටො හරහා මාව තැන් තැන් වලට යැවෙනවා. ඇල්ෆ්‍රෙඩො (Philippe Noiret) සහ ටුටො (Salvatore Cascio) හරහා ගොඩ නැඟෙන විරුද්ධාභාශිත මානුශීය සම්බන්ධතාව තුළින්ම ටුටෝව වෙනත් පාරකට ඇදලා ගන්න ට්‍රයි කරනවා. ප්‍රොජෙක්ශනිස්ට් කෙනෙක් නොකර. ඒත් ටුටෝ තමන්ගේ ආශාව වෙනුවෙන් දිගටම පෙනී ඉන්නවා.

මිනිස්සු තම ආශාවන් ලුහුබඳින එක තුළම තමයි ජීවිතේ හම්බ වෙන්නේ. ආශාවන් ඉ‍ටුවුනාට පස්සේ ඇත්තටම ඒ ලබා ගත් නැත්නම් ඉ‍ටුවූ දේ වටිනාකම අවම වී යනවා. ඒ නිසා යන පාත් එක තුළම තමයි අපි ජීවිතේ කියල විග්‍රහ කරගන්න හදන මේ දේ වෙන්නේ. ඒ නිසා නොලැබීම කියන්නේ ජීවිතේ රන් වෙන්න තියන හොදම එනර්ජි එක.

සිනමා පාරාදිසෝ හෝල් එකට එන හැම ‍ෆිල්ම් එකක්ම ෆාදර් විසින් රොමැන්ටික් සි‍ටුවේශන්ස් අයින් කරවලා තමයි හෝල් එකට රිලීක්ස් කරවන්නේ. පූජකයන්ගෙන් සමාජයට වන අනවශ්‍ය ඉන්වොල්මෙන්ට් එක නිසා කලාව හා අනෙකුත් සංස්කෘතික වාරනයන් සමාජයට ප්‍රභල බලපෑමක් කරනවා. ඒත් ධනවාදය තුළ තවදුරටත් පූජකයා (ෆාදර්) වලංගු නොවී යන එක මැදදි අපට පේනවා. මං හිතන්නේ සරලව ක්‍රියේටිව්ලි ඒක ගේන්න ටොර්නාටොර් සමත් වෙනවා. අනික පූජකයා කියන සාධකය පැතලි කරලා, ෆාදර් පැතලි නැති කැරක්ටර් එකක් විදියට බිල්ඩ් වෙනවා.  ‍

ටුටෝ, ඇල්ෆ්‍රෙඩෝ එක්ක අන්තිමට වැඩ කරනවා. හරිම සරල විදියකට එම්බෝස් වෙන්නේ ඒක. අනික ‍ෆිල්ම් එක කතන්දරයක් විදියට ප්ලේ වෙන්න ඔනි නිසා ඇල්ෆ්‍රෙඩෝව අන්ධ කරනවා. මට නම් තිබ්බ දුර්වලම සිදුවීමක් ඒක. ලංකාවේ මෙගා ටෙලියක කෑල්ලක් වගේ ඒක. සහ ඇල්ෆ්‍රෙඩෝව දැක්කම මනෝරත්නව මතක් වෙනවා. මොකක්දෝ කරුමෙකට ඒ නිසා ඇල්ෆ්‍රේඩෝව මනෝ ඇතුළෙන් ප්ලේ වෙන්න ගන්නවා. එතකොටම මට ඇල්ෆ්‍රේඩෝ ඊනියා සරල ෆ්ලැට් කැ‍රැක්ටර් එකක් වෙනවා. ‍ෆිල්ම් එක ඈතට යනවා. එතකොට ‍ටුටෝ තරුණයෙක් ව (Marco Leonardi) සිනමාවේ වෙනත් පැති ටච් (තිර ගතවන ඕලාරික ‍ෆිල්ම් වෙනුවට) කරන්න පටන් ගන්නවා. ඔහුගේ හස්තකැමරාවෙන්. ආයේ ‍ෆිල්ම් එක ලං වෙනවා. ඒ අතරේ සමාජ පෙරලීම් වේගවත් ඡේදන කිහිපයක් ඔස්සේ ‍ෆිල්ම් එකේ ස්ක්‍රීන් වෙනවා. අලුත් පරම්පරාවේ ඉන්වෝල්මෙන්ට් එක තුළ තවදුරටත් පැරණි රදලත්වය නැති වීම, ‍ෆිල්ම් හෝල් තුළ බිහිවන ගණිකා වෘතිය වගේ දෙවල් සහ තාක්ශනයට අනුගත නොවීම නිසා හෝල් එක එන්න එන්න පරිහානියට යාම වගේ දේවල්. මං හිතන්නේ ලංකාවේ හෝල්ස් ඩිජිටලයිස් නොවීම ම සිනමා පාරාදීසෝ වගේ ලංකාවෙත් ඇන්ටික් හෝල් ටිකක් බිහිවීමට පෙර මං තැනීමක්. ඒ මොහොතේ තාක්ශනෙත් එක්ක ඇඩැප්ට් නොවුනම තව දුරටත් පවතින්න බැරුව යනවා. සිනමා පාරාදීසෝ හොද උදාහරණයක් ඒකට. දැන් කොම්පඤ්ඤ වීදියේ රියෝ ‍ෆිල්ම් හෝල් එක, ඒ කාලේ සිනමා පාරාදිසෝ වගේ. ඒ විදියේ පු‍ටු, ඇට්මස්‍ෆියර් එක සහ හෝල් එකම හොඳ සිනමා නොස්ටැල්ජික් ඔබ්ජෙක්ට් එකක්.

ඉන්පසු වට්ටෝරු ප්‍රේම කතාවකට මුල පුරනවා. ‍ෆිල්ම් එක රොමැන්ටිසම් එකක ට ගේනවා. යෞවනයේ ප්‍රේමයේ උ‍තෝපියනු ඩ්‍රීම් එක වෙන්නේ පළමු පෙම. ‍ටුටෝ ෆ්‍රස්ට් ලව් එකත් එක්ක ඉන්නෙ ටික කාලයයි. ඔවුන්ට වෙන් වෙනවා. ‍ටුටෝ තුළ බොළඳ ප්‍රේමවන්තයා ගට්ටනය වෙන්න පටන් ගන්නවා. ඔහු අහිමි පෙම වෙනුවට වෙනත් දේවල් ට්‍රයි කරන්න ගන්නවා. ෆ්‍රස්ට් ලව් එක ඇතුළේ පිච්චෙන මනුස්සයා ඒ පිච්චීම නිසාම හිතන්න බැරි ගොඩක් දේවල් කරන්න පෙළඹෙනවා. සහ ඔවුන් ඒ දේ නිසා නොසිතන තරම් දුර යනවා. කලිනුත් කිව්වා වගේ, ජීවිතේ කියන්නේ ලබා ගැනීම් නෙවෙයි; ලබා ගැනීම් වලට යන පාර. ලව් ස්ට්‍රගල් එක නිසා ප්‍රොජෙක්ශනිස්ට් වෙන්න හිටපු ‍ටුටෝ ලොකු බෙන්ඩ් එකක් ගන්නවා. හරවන්න බැරි ගමනක් යන්න පටන් ගන්නවා.

ඔහු ගමෙන් පිට වෙද්දී ඇල්ෆ්‍රේඩෝ කියනවා,
Don't come back.
Don't think about us.
Don't look back, don't write.
Don't give in to nostalgia.
Forget about us.

මට ‍ෆිල්ම් එකේ වැදුනුම ඩයලොග් එක ඒක. ටාර්ගට්ස් ඇචීව් කරන්න ඕනිනම් කාගෙනම ඉස්සරහට යන්න ඕනි. රාජලියෙක් වගේ උඩුගුවනේ පිහාඹන්න ඕනිනම්, තාරාවොත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. අපි ෆෝකස් කරගන්න ඕනි අපේ ටාර්ගට්ස්. 

ඒත් ටාර්ගට්ස් ඇචීව් කරගත්තට පස්සේ/ ජයග්‍රහණය කරාම අපි ට ජීවිතේ කියල ඉතුරු වෙන්නේ මොකක්ද. වේදනාබර මතකයන් ගොඩක්ද. මතක ඔස්සේ අපි මේතරම් සැරි සරන්න කැමති අපේ ඔක්කොම හිමිවීම් මතකයන් තුළ පමණක් හිමිවූ නිසාද.

-තරිඳු ජයරත්න

No comments:

Post a Comment