Tuesday, November 15, 2016

The Reader-2008


කාලයක් තිස්සෙ හිතුණු දෙයක් මේ විදියට ලියවෙන්න පටන් ගන්නේ. ෆිල්ම්ස් බලන්න පටන් අරගෙන ගොඩක් කල්. ඒත් ෆිල්ම් කියවන්න පටන් ගත්තේ මෑතක. පස්සේ සිනමාව හදාරන්න, කරන්න එන්නෙත් ඒ උණ එක්ක.

2010 මුල ඒ කියන්නේ O/L කරලා ගෙදර ඉන්න කාලේ අලුත් ලැප් එකෙන් හා හා පුරා කියලා කරේ ෆිල්ම්ස් බලන්න ගනිපු එක. ෆිල්ම් එකක් විදියට ඉස්සෙල්ලාම හිත කිති කැවෙන්න ගන්නේ ස්ටෙෆන් ඩාඩ්‍රිගේ The Reader (2008) ෆිල්ම් එක බලලා. එක හුස්මට බලපු ඒ ෆිල්ම් එකත් එක්ක තමයි මට ෆිල්ම් එකක් කරන්න ඕනි කියල ඉන්ස්පිරේශන් එකක් එන්න. තාමත් මං කැමතිම ෆිල්ම්ස් 10 ඇතුළේ රීඩර් අනිවාර්‍යෙන් ඉන්නවා. කේට් එක්ක ගොඩ නැඟෙන අවියෝජනීය ලිංගික ආකර්ශනය ප්‍රභලව බලපානව මං හිතන්නේ ඒක මෙච්චර දුර අරං එන්න. මොකද රීඩර් මාර ෆිල්ම් එකක් නෙවෙයි. ඒත් දැණුනු ෆිල්ම් එකක්.

මම ඉස්සෙල්ලාම ෆිල්ම් එක බලන්නේ වයස අවුරුදු 17 දී වගේ. ඒ කියන්නේ ලිංගික කුතුහලය අතපත ගාන වයස. සහ වැඩිහිටි ගැහැණු ගැන නිරීක්ශන පරාසය වැඩිවෙන කාලයක් ඒක. ඉතිං ඒ අස්සේ මයිකල්ට හනා හම්බවෙන එක ෆිල්ම් එක තුළ වුනත් මාව කළඹවනවා. කේට් (හනා) කියන්නේ ඒ කාලේ උතෝපියානු ගෑණියක් අපට.

නොස්ටැල්ජික් කතන්දරයක් ස්ක්‍රීන් එකට ගේන්න ස්ටෙෆන් පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයක් වුණත් ඒක ෆ්‍රෙශ් පිට ගේන්න පුළුවන් වෙලා තියනවා. ක්ලැරී සිම්සන්ගෙ එඩිට් එක ඒකට එක හේතුවක්. මයිකල් ගල් අඟුරු ඇදලා නාල ඉවර වෙන වෙලාවේ හනා ටවල් එකත් අරගෙන ඇවිත් (ඇඳුම බාහිර සාධකයක් විදියට ගෙනල්ලා) ඒක අතහැරලා දෙන්නම නිරුවතින් එකක් වෙන එක නැත්නම් තව දුරටත් දෙන්නට සඟව ගන්න දෙයක් නැහැ කියලා පෙන්නන එක වැඩ කරන්නේ, ෆිල්ම් එකේ අන්තිමටත් මයිකල් අවුරුදු ගානකට පස්සේ දුවට කතාව කියනකොටත් නොකියන කතාවක් ඉතිරිවෙනවා වගේ දැනෙන නිසා.

හුදු හොලිවුඩ් වට්ටෝරුවෙන් කතාව ඇරඹෙන එකනම් ටිකක් අවුල්. සාම්ප්‍රදායික පවුල, ඒ කියන්නේ හැමතිස්සෙම පුතාගෙ ඇරියස් එකක් විදියට ඉන්න පියා, ඒ දෙන්නා හැමතිස්සෙම බැලන්ස් කරන්න යන අම්මා, හැම එකටම උල්පන්දම් දෙන සහෝදරියෝ.. වගේ දේවල්. මයිකල්ට ගෙදර එක්ක තිබෙන්නෙ ඒ වගේ විසංයෝජීය බැඳීමක්. ඉතිං එහෙම ඉන්න ගැටවර මයිකල්ට මැදිවියේ සුරූපි හනාව හමු වෙනවා.

මයිකල් හනා තුළින් හැමතිස්සෙම සෙක්ස් එක්ක ‍ෆ්‍රීඩම් එකක් හොයද්දි සාක්ශරතාව නිසා අවුලකින් ඉන්න හනා, මයිකල්ගෙන් සෙක්ස් වලට වඩා පොත් කියවගන්න ට්‍රයි කරනවා. ඒක ‍ෆිල්ම් එකෙ ලිහෙන්න පටන් ගන්නේ පස්සෙ කාලෙක හනාව අවුස්ටස් කඳවුරේ වදකයන්ගේ නඩුවේ දී, සිරකරුවන් හරහා හනා කරල තියෙන්නේ පොත් කියව ගන්න එක. සාක්ෂරතා ගටලුව රහසක් ලෙස (ලජ්ජාව නිසා) සඟවාගෙන සිටින ඇය, එම සැඟවීම එළි නොකරම ඇය නොකළ වරද පිළිගන්නව.

මයිකල්-හනා අතර ඇතිවන අසම්මත ප්‍රේමය තුළ ගොඩ නැඟෙන සියුම් භාවයන් බොහෝවිට විස්තාරනය වෙන්නේ ගැටවර වියේ සිටින මයිකල් හරහා. (මයිකල් රෝඩ් ට්‍රිප් එක යන්න මුද්දර පොත විකුණන එක ඔහු ප්‍රේමය වෙනුවෙන් කරන පළමු ප්‍රභලම කැප කිරීම.) හනාට හැම තිස්සෙම ඒක බැල්න්ස් කරගන්න පුළුවන් වෙනවා. සහ ගැහැණියක් ඒ දේවල් අපූරුවට හසුරවනවා කියලා අපේ අත්දැකීම් පවා සාක්ශි දරනවා. ඉතිං ඒ තුළ මයිකල්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නෙ හනා. ඔහුට පාසැල් මිතුරියකගේ ඉඟි බිඟි එද්දී ඔහු සොයා යන්නේ හනාව. ඒත් එක්තරා අවස්තාවකදි හනා ඔහුට කියන්නේත් නැතුව ඔහුව දාලා යනවා. ඔහු ඒ හිස් කුඩා නිවසේ පාළුවෙන් තනි වෙනවා. ඒ හිස් බව අපූරුවට කැමරාවෙන් ගේන්න රොජෙර් සහ ක්‍රිස් සමත් වෙලා තියනවා. ඔහු ප්‍රේමයෙන් පරාජිත වී ගෙදර එද්දී (වෙනදට වඩා පරක්කු වෙලා, ගෙදර මිනිස්සු මේ කතන්දරේ දන්නේ නෑ) ගෙදර මිනිස්සු ඔහු එනකම් බලන් ඉන්නවා. සියළු බාහිර සමාජීය සම්බන්ධතා බිඳ වැටුනත් කුටුම්භය තුළින් ඔහුට ආයේ ලෝකේ හම්බ වෙනවා. ජීවිතේ යන එන මිනිස්සු අතර පවුල අස්වැසිල්ලක් විදියට හැමදාම තියනවා.

සමහර සම්බන්ධතාවල වටිනාකම තියෙන්නේ නැවැත්විය යුතු එක්තරා මොහොතකදි ඒක නැවැත්වීම තුළින්. හනා ඒ දේ කරත් මයිකල්ට ඒ දේ දරාගන්න බැරි වෙනවා. ඔහු හැමදාම ඇය වෙනුවෙන් හදවතේ කොටසක් වෙන් කරගෙන ඉන්නෙ. වෙන සම්බන්ධතා පටන් ගත්තත් ඔහු ප්‍රථම තහනම් ප්‍රේමය ඇතුළේ සදාකාලිකවම තැන්පත් වෙනවා.

නීති ශිෂ්‍යයෙක් ලෙස සිටින අවධියේ ඔහු ආයේ හනාව නඩු විභාගයක දි දකිනවා. කිහිප සැරයක් උත්සාහ කර ඇය හමු වීමේ උවමණාව ඔහු අතැරදමනවා. ඇය වදකාගාර පාලිකාවක් ලෙස, සිරකරුවන්ගෙනුත් පොත් කියවගෙන බව නඩුවෙදි ඔප්පු වෙනවා.

ඔහු ඇයගෙන් මිඳුනු ලෝකයක් හොයා ගන්නවා. නමුත් ඔහු දික්කසාද වී තම දියණිය අම්මා ගාව නවත්තන්න ගියාම ඔහුට පැරණි පොත් එක්ක කුළුඳුල් ප්‍රේමය මතක් වෙනවා. පොත් කියවන්න බැරි, පොත් කියවන්න ආස හනා වෙනුවෙන් ඔහු පොත්, වොයිස් රෙකෝඩ් එකක් විදියට යවනවා. ඇය සෙමෙන් අකුරු ඉගන ගන්නවා. ඇය හුදෙකලාවේ සිටිද් දී පෙම්කරපු ඔහුව මතක් වෙනවා. ඔහුගේ පහස මතක් වෙනවා. දැන් ඔහුට ඇය ගැන තිබෙන්නේ නිස්සාරත්වය මුසු වුණු උදාසීන කමක්.

අවුරුදු 20කට පස්සේ ඇයව නිදහස් වෙන්න ලං වූ පසු ඔහුට ඇයව හමුවෙන්න වෙනවා. වෙන් වීමක් තුළ ජීවත් උනු මයිකල් ඇය පිළිබඳව ලිංගිකත්වය හරහා මතුවෙන ශූන්‍යතාවක තනි වෙනවා. නමුදු ඇය නැවත ඔහු ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒත් දැන් ඔහු ට ඇය පිළිබඳ එදා හැඟීම අනුකම්පාවකට හැරිලා. හිස් බවක් එක්ක ඔහු ඉන්නේ.

පොත් නිසාම පටන් ගත්ත ආදරයක් අන්තිමට පොත් උඩම නැග සිය දිවි නසා ගන්න හනාව පොළඹවනවා. ජීවිතයේ පශ්චාත් තාපයන්, වෙන් වීම්, එම වෙන් වීම් වලට මුහුණ දෙන අයුරු ද අන්තිමට හිස් බවක් එක්ක අපූරු අවසානයකට ගේන්න තිබුණු ෆිල්ම් එක තව දුර ඇදලා නා ගන්නවා. හනාගේ මරණෙන් පස්සෙ ෆිල්ම් එක ඕලාරික එකක්ම වෙලා යනවා.

Bernhard Schlinkගේ Der Vorleser නම් නවකතාව බේස් වෙලා හදපු ෆිල්ම් එක පොතට වඩා සාර්ථකයි මට නම්. Der Vorleser, 'ගිම්හාන ගීතය' නමින් රංජිත් කුරුප්පු ඕලාරික පරිවර්තනයකුත් කරල තියනවා.

සදාකාලික ප්‍රේමයක ආශ්වාස වාතය ලබා දෙමින් මියුසික් ජීවිතයට කොච්චර ළඟද කියා සැරින් සැරේ ෆිල්ම් එක අපිව කූද්දනවා. මතක දුවන්නේ මියුසික් එක්ක කියල හොඳ නිදසුනක් රීඩර්.

 -තරිඳු ජයරත්න

6 comments: