Tuesday, December 13, 2016

A Separation - 2011



සමහර ‍ෆිල්ම්ස් තියනවා බලලා ඉවර උනාට පස්සෙත්, ටික වෙලාවක් යනකම් පු‍ටුවෙම ෆීස් වෙන. සෙපරේශන් බලලා මම ටික වෙලාවක් ෆීස් උනා. ඉස්සෙල්ලාම බැලුවේ දැනට අවුරුදු දෙක තුනකට වගේ කලින්. එදත් එහෙමයි. මෑතකදි බැලුවමත් ආයෙත් ටික වෙලාවක් යනකම් ෆීස් උනා. මේ වගේ හැඟිම් අස්සේ හිරවෙන ආර්ට් පීස් එකක් ගැන කතා කරන එක අමාරුයි. එක අතකින් ඒ කෘතියට කරන හානියක්. හැඟීමක් වචන වලට දාන්න ගියාම ඒ හැඟීමේ ප්‍රබලතාව නැතිවෙලා යනවා.  ප්‍රේමයේ දි පවා වෙන්නේ ඒක. ආදරයේ ප්‍රමානය වචන වලින් කියන්න ගියාම ආදරය සිල්ලර වෙලා යනවා. සෙපරේශන් බලල වෙච්ච ශොක් එක ලියද්දි, දැනුනු විදිය මඟ හැරේදෝ සැකයක් එනවා.

'සෙපරේශන්' (A Separation)  අස්ගර් ෆර්හාඩිගේ(Asghar Farhadi) 5වෙනි ‍ෆිල්ම් එක. ෆර්හාඩි ඉන්ටර්නැශනලි එළියට එන්නේ ප්‍රධාන වශයෙන් 'ෆයර්වර්ක්ස් වෙන්ඩ්ස්ඩේ' (Fireworks Wednesday-2006) හරහා. ඉන්පසු අබවුත් එලී (About Elly-2009) ඔස්සේ එන ෆර්හාඩිගේ සිනමාජීවිතයේ ක්ලයිමැක්ස් එක 'සෙපරේශන්'. සෙපරේශන්, 2011 බර්ලීන් රන් වලසා (Golden Bear) ජයග්‍රහනය කරනවා. 2011 බර්ලීන් වල සිල්වර් බෙයා ගන්නේ බෙලා ටර්ගේ 'ටියුරින් හෝර්ස්'(The Turin Horse). සෙපරේශන්වලට ගෝල්ඩන් බෙයා යන්නේ ටියුරින් හෝර්ස් එක්ක තරඟ කරලා. සම්මාන වලින් ‍ෆිල්ම්ස් මනින්න බැරි උනත් සෙපරේශන් ප්ලේස් කරගන්න හොඳ සාධකයක් ඒක. ඒ වගේ ම ඇකඩමි අවෝඩ් 2012, (Academy Awards 2012) හොඳම විදේශිය භාශා සිනමාපටය (Best Foreign Language Film of the Year) ලෙස සෙපරේශන් පත්වෙනවා. සහ IMDB ශ්‍රේණිගත් කිරීම් අනුව (Top Rated Movies, Top 250 as rated by IMDb Users) හොඳම ‍ෆිල්ම්ස් 250 තුළ, සෙපරේශන් 109වෙනි ස්ථානය හිමිකර ගන්නවා. සෙපරේශන් වැනි ආර්ට් හවුස් ‍ෆිල්ම් එකක් IMDB වල එසේ ස්ථාන ගත් වීම සුවිශේශියි.

දෙදෙනෙකුගේ එක්වීමක් කොළයක් මඟින් සත්‍යාපනය කිරීම කසාදය ලෙස හැඳින්වීමට පුළුවන. ප්‍රේමය හෝ ආධ්‍යාත්මික බැඳීමකට එහා එම කොළය තුළ ගමන් කිරීම අපහසුයි. එය පොරොන්දු සමුදායක ලේඛන ගත වූ සාක්ෂිකරුවෙක්. දෙදෙනෙකු එම කොළයේ අත්සන් කිරීම මඟින් සිදුවන්නේ ඔවුනොවුන් බාහිර සමාජීය අවශ්‍යතාවන් ගනනාවක් වෙනුවෙන් එක් වීමත්, එම අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී හිටීමත් ය. ඔවුනොවුන්ගේ ස්වයං තීරන ගැනීමේ අයිතිය තව දුරටත් හීන වීම එම ලියවිල්ල තුළින් සිදුවේ. සෙපරේශන් හරහා අපිට පළමුව අභිමුඛ වන්නේ එම කාරණයයි. සමහර තීරණ වලදී දෙදෙනාගේ ස්ථාවරත්වයන් සඳහා කොළයක් මඟින් සිදුකරන්නා වූ බලපෑම සමාජීය සාක්ෂිකරුවෙකු ඉදිරියේ කෙසේ ප්‍රක්ශේපනය කළ යුතුද යන්න ය.

ෆිල්ම් එක පටන් ගන්නේ ෆොටෝකොපි මැශින් එකක ස්කෑන් වෙන පාස්පෝර්ට්, ID, වගේ ඩොකියුමෙන්ට්ස් කිහිපයකින්. ඒවා ස්කෑන් වෙන්නේ අපේ(ප්‍රේක්ෂක) මනසේ. ඒ කියන්නේ ස්කෑනර් එක ප්‍රේක්ෂකාගාරය. අපි තුළ ඔවුන්ගේ ඒ ඒ තොරතුරු තැන්පත් වූ බවට ලැබෙන හැඟවුමකින්. ඉන් පසුව නදර්(Nader) සහ සිමින්(Simin), ජූරිය ඉදිරිපිට කරන කරුණු දැක් වීම. එය සිදු කරන්නේද කැමරාවට. එනම් ප්‍රේක්ෂකාගාරයට. අපි එම ප්‍රශ්නයේ කොටස්කරුවකු ලෙස ෆිල්ම් එක තුළට ඉබේම අපිව ඇඳලා ගන්නවා. ජූරිය වෙන්නේ අපි. ෆිල්ම් එක තවදුරටත් අපෙන් බාහිර සාධකයක් නොවී අපේම කොටසක් ලෙස ආරම්භක දර්ශන වලින්ම හෝල්ඩ් කර ගන්නවා.

සිමින්ට(කාන්තාව) මේ මොහොතේ ඉරානයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය නිසා දියණියගේ(Termeh) අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව මත ඇය රටින් පිට වීමට තීරනය කරයි. නමුත් නදර්ට තම රෝගී මහළු පියා තනිකර යා නොහැක. එම පරස්පරතාව නිසා ඔවුනොවුන් දික්කසාද වීමට තීරණය කරයි. එම ඉල්ලීම කරන්නේ සිමින් විසිනි. දැන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් වෙන්නේ මේ කරුණු දැක්වීමයි. එහෙත් විනිසුරුවරයා දික්කසාද වීම ප්‍රතික්ශේප කරයි. විනිසුරුවරයා එම මොහොතේ ප්‍රේක්ශකයාගේ අවිඥ්ඥාණික පෙනී සිටීමයි. විනිසුරුගේ මෙම ප්‍රතික්ශේප කිරීම නිසා සිමින් පව්ල අතැර ඇයගේ මව වෙත යයි.

සමාන්‍ය ආකාරයට පැවතුනු පවුල ඇයගේ නික්මීමත් සමඟ අකර්මන්‍ය වේ. මැදපෙරදිග රටක පවා, මව(ගැහැණිය) ගෙදරක ස්ථාවරත්වය වෙනුවෙන් කොපමණ බලපෑමක් කරන්නේද යන්න අප වෙත විද්‍යාමාන වේ. ලංකාව වැනි රටක මවගේ භූමිකාව අතිශය තීරණාත්මක සාධකයක්. එය මැදපෙරදිග රටක පවා අඩු වැඩි වශයෙන් කෙසේ බලපාන්නේද යන්න නැවතත් විමසිලිමත් විය යුතු ය. සිමින්ගේ නික්මයාමත් සමඟ නදර් මුහුණ දෙන්නේ අසාමාන්‍ය තත්වයන් සමුදායකට ය. ඔහුට තවදුරටත් දික්කසාද වීම තුළ 'අසමතුලිත පවුල' යන සාධකය පවත්වාගැනීම අසීරු වෙන අයුරු, දික්කසාද නොවී තාවකාලික වෙන්වීමකින් අපිට ක්ලික් කරනවා.

නදර් ඉන්පසු තම මහළු රෝගී පියා බලා කියා ගැනීමට රාසියා(Raziah) නැමැති සේවිකාවක් ගනී. ඇය පිටස්තර පුද්ගලයෙක් ලෙස පියාගේ කටයුතු කිරීමේදී පියා විසින් විමසන්නේ සිමින් පිළිබඳවය. සිමින් පිළිබඳ පියා තුළ ඇති ප්‍රතිරූපය මඟින් පෙනී යන්නේ,සිමින් බිරිඳක් ලෙස හා ලේලියක ලෙස තම යුතුකම් නොපිරිහෙලා ඉටුකළ බවය. අපට දිගින් දිගටම වැටහී යන්නේ සිමින්ගේ බිරිඳ, මව හා ලේලි යන චරිත තුළ ඇය වඩා සදාරන එළැඹුමක් සහිතව වසර 14ක් පමණ සිටිය මුත්, ඇයගේ රට අතැර යන අසීමාන්තික උවමනාවේ ස්වරූපය ඉරාන දේශපාලනයේ අස්ථාවරත්වයම නොවේද. ඉරානය වැනි ප්‍රබල වාරනයක් සහිත රටක ප්‍රකාශනයක් කිරීමට නිර්මාණකරුවන් විවිද උපායාන් භාවිතා කරයි. එම වාරනය නිසාම බිහිවන්නේ සෙපරේශන් වැනි නිර්මාණාත්මක දේශපාලනික භාවිතාවක් සහිත එළැඹුම්‍ ය.

පියා පත්තර පිළිබඳ දැඩි ලෝලීත්වයකින් පසුවේ. දිනක් ඔහු ඒ සඳහා තනිවම එළියට ද යයි. පියා තුළින් හැමවිටම මතුවන්නේ පැරණි ඉසුරුමත් පීතෘ ලක්ෂණ වේ. ඉරානය පිළිබඳ, ෆර්හාඩිගේ කියවීම මහළු පියා තුළින් සියුම්ව කේන්ද්‍රගත කරන්න ෆර්හාඩි සමත් වෙනවා. රාසියා එක්තරා දිනක මහළු පියා ඇඳේ ගැට ගසා තම කටයුත්තකට එළියට යයි. පියා බිමපෙරළී රෝගය උත්සන්න වූ මොහොතක නදර් පැමිනේ. රාසියා සහ නදර්ගේ ගැටුමත් සමඟ මතුවන අර්බුධකාරී වටපිටාවට දියණියන් දෙදෙනා (නදර්ගේ හා රාසියාගේ දියණියන්) මුහුණ දෙන අසරන භාවයම සිමින් පෙර සිට ඉරානය තුළින් අනාගතයේ බිහිවන දියණිය වෙත මුහුණ දීම පිළිබඳව සවිංඥ්ඥාණික වී ඇත. ඉරානයෙන් තවදුරටත් බිහිවන්නේ අසරණ වූ පරම්පරාවක් බව.

මෙහෙකාරිය (රාසියා) ගබ්සා වීමකට ලක්ව වේ. නදර් එයට වැරදි කරුවකු වේ. රාසියාගේ ස්වාමියා, හෝදජ් (Hodjat) නදර්ට දිගින් දිගටම එල්ල කරන පීඩනය හමුවේ පිහිටට එන්නේ ද සිමින් ය. සිමින්, නදර්ගෙන් දික්කසාද වීමට ගියද තවම ඔහුවෙත ප්‍රේමයෙන් පසු වේ. ඇය නදර්ව බේරා ගැනීමට සියළු කටයුතු සූදානම් කරයි. දික්කසාද වීම තුළින් හා ඒ තුළ පවතින නොබිඳෙන පැරණි ප්‍රේම බන්ධුතා සිහිවන්නේ සියළු මානුශීය සම්බන්ධතා බිඳ වැටෙමින් යන මොහොතකය. ඔහු හෝ ඇය තවදුරටත් ඔවුනොවුන් වෙත පිහිට නොවූ කලක ඔවුන්ගේ පැවැත්ම අර්බුධයට යයි. මේ මොහොතේ ඉරානය ඇතුළු ලෝකවාසී ජනයා දැන ගතයුතු කරුණ නම් බිඳවැටෙමින් යන මානුශීය සම්බන්ධතා නැවත ඉක්මනින්ම ගොඩනැගිය යුතු බවය. නැතිනම් 'නදර්' තුළ ම අප හැම දියවී අවසන් ව යා හැක.

හෝදර් රැකියා විරහිත පුද්ගලයකි. ඔහු එම කරුණු නිසා මානසික පීඩනයකින් පසුවේ. ඔහුගේ එම පීඩනය පිට වෙන්නේ රාසියා හා නදර් හරහාය. මිනිසුන්ගේ මූල්‍ය අර්බුධ නිසා ගොඩ නැඟෙනා අභ්‍යන්තරික අරගලය ඉරානය තුළ සමාජීය පිරිහීමට ප්‍රබල ලෙස බලපා ඇති බව සෙපරේශන් තුළින් අපිට පිළිබිඹු වේ. එහෙත් රදර් දැඩි ආගම් භක්තික කාන්තාවකි. ඇය ඇයගේ හෘද සාක්ශියට එරෙහිව කටයුතු නොකරයි. අන්තිමට නදර් හා සිමින් මුදල් ගෙවා වැඩේ ගොඩින් බේරා ගැනීමට උත්සාහ කරයි. නමුත් ඇය පවසන්නේ ඇයගේ ගබ්සාවට හේතුව නදර් විය නොහැකි බවය. ආගමික සන්ධර්භය තුළ මෙවැනි වූ පිළිණු නොවූ චරිතද බිහි විය හැකි බව(විශේෂයෙන් ඉස්ලාම් වැනි) ෆර්හාඩි අපට පෙන්වා දේ. රාසියාගේ මෙම ඉදිරිපත් වීම තුළින්, බිඳ වැටෙමින් පවතින මානූශීයත්වය අපට ගොඩ දා ගැනීමට ද හැක්කේ අප විසින්ම බවත්, විපරීත වූ සමාජය තුළ තවමත් විපරීත නොවූ මිනිසුන්ද සිටිය හැකි බවත් සෙපරේශන් පවසයි.

පටන් ගන්න සිදුවීමට ම අවසනයේ නැවතත් අප(ප්‍රේක්ෂකාගාරය) මුහුණ දේ. නමුත් මෙවර සිමින් හා නදර් ගේ පැත්තේ සිට අප අවධානය යොමු කරයි. ෆිල්ම් එකේ විනිසුරු අපට විද්‍යාමාන වේ. අපට මෙවර විනිසුරුගේ තීරණයට එළැඹීමට සිදුවන්නේ නදර් හා සිමින්ගේ දෘෂ්ටි කෝණයෙන් ය. ප්‍රශ්න දැන සිටින අප වෙත විනිසුරු තීරණය, තීරණාත්මක බලපෑමක් කරයි. ඉන්පසු දියණියගේ අයිතිය පිළිබඳ විමසීමේදී ප්‍රේක්ෂකාගාරය නැවතත් විනිසුරු අසුන වෙත ගමන් කරයි. අප එහි තීරකයා ලෙස තබා නදර් හා සිමින් එළියට යයි. අප තීරණය ගැනීම පිළිබඳ හුදකලා වේ. නදර් සහ සිමින් එළියේ සිට තීරණය දෙනතුරු බලා සිටී.

දියණියගේ අනාගතය ගැන සිතා මව හා පියා ගේ වෙන්වීම කෙළෙස සාධාරනීකරණය කළ හැකිද යන්න තාමත් ඔලුවේ හොල්මන් කරන ප්‍රශ්නය යි. ඔවුන්ගේ දික්කසාද වීම තුළින් දියණියට යහපතක් කෙසේවත් උදා නොවන බව මගේ වැටහීමයි. ෆර්හාඩි ඉරානය ගැන ඉදිරිපත් කරන්නේ මෙවැනි දෘෂ්ටිවාදාත්මක කියවීමකි. ඉරානයත් දැන් දියණියගේ ප්‍රශ්නයට මුහුණ දී ඇත. ගැලවීම පිළිබඳ සිතා ගැනීමටවත් නොහැකි අඝාදයකට එරට ගොස් ඇත. බටහිර ආක්‍රමණ හා අභ්‍යන්තරික ප්‍රශ්න ද මේ පිළිබඳ වගකිවයුතු බව ෆර්හාඩිගේ අදහසයි.

ෆර්හාඩි සෙපරේශන් ගැන ඉන්ටර්විව් එකකදි මෙහෙම කියනවා,
"The important thing is to think and give the viewer the opportunity to think. In Iran, more than anything else at the moment we need the audience to think."

විවාහය පිළිබඳ ඛලීල් ජිබ්‍රාන් ලස්සන අයිඩියා එකක් කියනවා.,
"ඕක් ගසයි සයිප්‍රස් ගසයි එක සෙවනේ නොවැඩේ."
නදර් සහ සිමින් තුළ මං දකින්නේ මේ ඕක් සහ සයිප්‍රස් ගහ.


-තරිඳු ජයරත්න-

2 comments: