Monday, December 26, 2016

One Flew Over the Cuckoo's Nest - 1975


අපි ඉපදීමත් එක්ක එළියට එන මේ සමාජය (පෘථිවිය) අපිව යම් රාමු ගත ක්‍රමයක්ට පැක් කරනවා. අපිට ජීවිතය කියල හම්බවෙන්නේ මේ සමාජය විසින් විවිධ අයුරින් පැක් වූ සංස්කෘතික ජීවිතයක්. ඒත් කාලයක් සමඟ සමහර මිනිසුන් ඒ ඒ සංස්කෘතික තත්වයන් වලින් අපගමනය වෙන්න ගන්නවා. ඒත් එහෙම අපගමනිත කැරැක්ටර්ස් වලට පැවතීම පිළිබඳ ප්‍රශ්න එනවා/එහෙම අපගමනය වූ මිනිසුන් බහුතරයකට කාලයත් එක්ක පැවතිය නොහැකි තැනකට පත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ටත් අර සාම්ප්‍රධායික රූල් එකේම හිර වෙන්න වෙනවා. නමුත් අපගමනිත කැරැක්ටර්ස් වලිනුත් ප්‍රතිරෝධයට හරියට රිඇක්ට් කරගන්න පුළුවන් කැරැක්ටර් එකක් දෙකක් අහම්ඹෙන් ඉතුරු වෙනවා ඔහුගේ අවසානය වෙනකම්. One Flew Over the Cuckoo's Nest (1975) මට සෙට් වෙන්නේ මේ කන්ටෙක්ස්ට් එක ඇතුළේ.

කෙන් කෙසෙයි (Ken Kesey) ගේ One Flew Over the Cuckoo's Nest නවල් එක බේස් කරගෙන තමයි ලොරෙන්ස් හොබෙන් (Lawrence Hauben) සහ බෝ ගෝල්ඩ්මන් (Bo Goldman) 'කුකූස් නෙස්ට්' ස්ක්‍රිප්ට් එක ලියන්නේ. 'කුකූස් නෙස්ට්' මයිලොස් ෆෝ(ර්)මන් (Milos Forman) ගේ පස්වෙනි ෆීචර් ෆිල්ම් අධ්‍යක්ෂනය. 48 (1975) වෙනි ඇකඩමි අවෝර්ඩ්ස් වලදි කුකූස් නෙස්ට් වලට Best Picture, Best Director, Best Actor, Best Actress and Best Screenplay (Big Five) හම්බවෙනවා. මේතාක් ඇකඩමි අවෝර්ඩ් ඉතිහාසයේ බිග් ෆයිව් හම්බවුණු ෆිල්ම්ස් තුනයි තියෙන්නේ.

It Happened One Night (1934) 
One Flew Over the Cuckoo's Nest (1975) 
The Silence of the Lambs (1991)

ඒ වගේම කුකූස් නෙස්ට් Supporting Actor, Best Cinematography, Best Film Editing and Best Music වලට නොමිනේට් වෙනවා. සහ මේවන විට IMDb Top Rated Movies වල 16 වෙනි තැන ඉන්නෙත් කුකූස් නෙස්ට්.

මැක්මර්ෆි (Jack Nicholson) අපරාධකරුවෙකු ලෙස හිරේ සිටිනවට වඩා මානසික රෝහලක සිටීම සුදුසු යැයි සිතා ව්‍යාජ රෝගයක් ගෙන ඔහු රෝහලට එයි. අපරාධකරුවකු වීම තුළ යම් මානසික ව්‍යාකූලතාවයක් තිබුණද ඔහු මානසික රෝගියෙකු වන්නේ වඩාත් නිදහසේ රෝහලේ සිටිය හැකි නිසා ය. ලංකාවේ දේශපාලඥ්ඥයන්ගේ ද ක්‍රියා කලාපය මේ වන විට විතැන් වෙන්නේ මැක්මර්ෆිට නොදෙවෙනි තැනකය. සිරගත වූ පසු රෝහල්ගත වීම. නමුත් ලාංකික දේශපාඥ්ඥයන් හා මැක්මර්ෆි ඉන්පසු කිසිම සමාන කමක් නොදක්වයි. ඔහු රෝගීන් වෙනුවෙන් යම් පෙනී සිටීමක් කරයි. එහි විමුක්තිකාමියා ලෙස මැක්මර්ෆි පෙනී ඉන්නවා. රෝහල තුළ ස්ට්‍රක්චර් එකට මැක්මර්ෆි චැලේන්ජ් කරන්න ගන්නවා. නර්ස් ‍රැචඩ් (Louise Fletcher) රෝහලේ යාන්ත්‍රික ක්‍රියාකාරිණිය වශයෙන් කටයුතු කරනවා. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට එහි තීරණ ගැනීම සිදු කරන බවත්, එම තීරණ බහුතර කැමැත්ත පමණක් බව පෙනී යනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින අවුල, බහුතර කැමැත්ත ක්‍රියාත්මක වීම හෙවත් සුළුතරයේ ඉල්ලීම වඩා සාධාරන වුවද යටපත් වීම යි. ක්‍රියාත්මක වන්නේ වඩාත් නිවැරදි දේට වඩා වඩාත් ජනප්‍රිය/ප්‍රසිද්ධ දේය. ලංකික දේශපාලන ඉතිහාසය තුළ මේ දක්කා වූ සියලු ඡන්ද සිදුවූයේ මේ මානසික රෝහලේ පටිපාටිය ඔස්සේමය. ඒ වගේම වර්ගවාදී ප්‍රශ්ණ වලට තවමත් මේ තරම් අප බැට කන්නේද එම නිසාය.

චීෆ්ගේ (Will Sampson) උදාසීනබව මැක්මර්ෆි විසින් රොහලේ සිස්ටම් එකට ඇටෑක් කරන්න පුළුවන් ආකාරයට බ්ලෙන්ඩ් කරනවා. ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එක මැක්මර්ෆි වුවත් සබ් කැරැක්ටර් එකක් විදියට ෆිල්ම් එකේ පිහාඹන්නේ චීෆ්. ෆෝර්මන්, චීෆ්ව මුළ සිටම බිල්ඩ් කරන්නේ අවසාන පිහෑඹීමේ එනර්ජි එකට. සද්ධන්ත ඇඟක් සමඟ අතුගාන එක, ක්‍රීඩා වලට උදාසීන කම හරියට නිදාසිටින තරුණ ජවය වගේ. පහුගිය කාලවල ලාංකික තරුණ නැඟිටීම් වල මැක්මර්ෆි හිටියත් චීෆ්ලා හිටියේ නෑ. ඒකයි ඒ තරුණ ව්‍යාපාර අසාර්ථක උනේ. ෆිල්ම් එකේ එන්නේ,ඒ ජවය කොහොමද මේන්ටේන් කරගන්නේ විකල්පයක් හොයා ගැනීම සඳහා කියන එක.

නර්ස් රැචඩ් කොහොමද චන්ද්‍රිකා හෝ සිරිමාවෝගෙ තත්වයෙන් මිදෙන්නේ කියන එක තරමක් සීරියස් විමසා බලන්න ඕනි දෙයක්. ලංකාවේ මේ තාක් ඉහළම දේශපාලනික පුටුවල වාඩි වූ කාන්තා චරිත දෙක සිරිමාවෝ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක. අම්මයි දුවයි. කාල පරාස කිහිපයක ගැප් එකක් තුළ වුවත් ලංකාවේ ඒ පුටුවලට ගියේ ඒ දෙන්නා. ජනතා කැමැත්ත නිසා. රැචඩ් සහ චන්ද්‍රිකා අතර පරතරය ගොඩක් හීනයි. සිරිමාවෝ සහ රැචඩ් අතර ඊට වඩා දුරස්ත සම්බන්ධතාවක්. සිරිමාවෝ අගමැති වෙන්නේ ෆිල්ම් එක කරන්න කලින්. චන්ද්‍රිකා ජනාධිපති වෙන්නේ ෆිල්ම් එක රිලීස් වුනාට පස්සේ. මේ දෙන්නා ගැන ෆොර්මන් අහලවත් නැතුව ඇති. ඒත් මට මේ රැචඩ්ව පේන්නේම ඒ මව සහ දුව ඇතුළේ. ඒ වගේම මැක්මර්ෆිගේ මිතුරිය ලෙස එන කැන්ඩි ඉන්නේ අපේ පැත්තේ. ඒත් ඇය මානසික රෝගියෙක් නොවී රෝහල තුළ හා රෝගීන් අතර සැරිසරන්න වෙනවා. ඇයට රෝගීන්ව රෝගීන්ට වඩා මිනිසුන් ලෙස පෙනෙද්දි  ‍රැචඩ්ට රෝගීන් ලෙසම පෙනේ.

ෆිල්ම් එකේ දිගින් දිගටම කාර්ඩ් ප්ලේ වෙන එක මහජනතාව විදියට අපි ඉන්න තැන හොයාගන්න අමාරු වෙනවා. අපි රෝහල තුළම කාර්ඩ් එකක ජෝකර් කෙනෙක් වෙලාද  කියල මතක් වෙනවා. මතක් උනත් අපිට අපේ මේ රෝහලෙන් ගැලවෙන්න බැරි තැනකට අපිව හිර වෙලා කියලා ඊළඟට තේරෙනවා. අපිට වෙන්නෙත් තව කාර්ඩ් එකක් ඇදලා ‍රැචඩ්ගෙන් බෙහෙත් පෙත්තක් බීල නිදා ගන්න එක. බිලී රෝගී වෙලා තියෙන්නේ ප්‍රේමයක් තුළින්. ඔහුට එය ප්‍රකාශකර ගැනීමේ අර්බුධයක සිරවී සිටියි. නමුත් කැන්ඩි හරහා ඔහුට ආයේ ප්‍රේමණීය හැඟීම් දළුලන්න පටන් ගනී. ඔහු එය ද ප්‍රකාශකර ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි. නමුත් ඔහු මැක්මර්ෆි හරහා එය විසරණය කර ගනී. බිලී සහ කැන්ඩි පාර්ටි එකේදි සෙක්ස් කිරීමත්, එය මවට පවසන බව බිලීට පවසා ඔහුට තර්ජනය කරන රුචඩ් ඔහුගෙන් සියළු විස්තර අසාගනී. නමුත් ඔහු බිය වී සියදිවි නසා ගනී. මසාන් (2015) ෆිල්ම් එකෙ සිදුවීමත් මීට සමපාත තැනක ගමන් ගන්නවා. තරුණයෙකුගේ හෝ තරුණියකුගේ (සියළු මිනිසුන්ගේ) සෙක්ස් ලයිෆ් එක හෝ ලව් ලයිෆ් එක විචාරය කිරීම හෝ එයට එබී බැලීම අශ්ලීල කමක් විදියට ‍රැචඩ් හරහා පෙන්නුම් කරන්න ෆෝර්මන් සමත් වෙනවා. අනික් කාරනේ බිලී සිටින්නේ ඔහුගේ පාරිශුද්ධ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සිදු වූ අවුල නිසා ඇති වූ ව්‍යාකූලතාවක. සමාජයක් විදියට පැක් වෙන අපිට ප්‍රේමය තුළ ද යම් යම් රූල්ස් ඇතුලේ ප්‍රේම කරන්න වෙනවා. ප්‍රේමයත් ආධ්‍යාත්මික තැනින් එළියට ගිහින් සරල මතුපිටක් දක්වා එනවා. බිලී හොඳ නිදසුනක් ඒකට.

රෝහලෙන් තම මිතුරන් (රෝගීන්?) එළියේ බෝට්ටු සවාරියක් ගෙනයාමට මැක්මර්ෆි සමත් වෙනවා. ඔහු එළියෙදි තම මිතුරන් (රෝගීන්?) හඳුන්වා දෙන්නේ වෛද්‍යවරු ලෙස. මානසික රෝගීන් කියන්නේ වෙනත් ලේයර් එකක මිනිස්සු ටිකක් කියන එක සහ ඩොක්‍ටර්ස්ලා විදියට ඉන්න පිරිස ඒ ලේයර් එකට ඉන්වෝල් වුනාම ඔවුන් තුළම ඔවුන්ගෙ අර්බුධය විසඳී යනවා. ඩොක්ටර් ස්පිවෙ (Dean Brooks) රෝහලේ මේසය මත මාළුවෙක් සමඟ සිටින ෆොටෝ එකත් බෝට් ට්‍රිප් එකේදී රෝගීන්(?) අත තිබෙනා මාලූන් ගේ දර්ශනත් එකිනෙක අතිච්ඡාදනය වෙන්න ගන්නවා අපේ මනසේ.

ටර්ක්ලේ (Scatman Crothers) හරහා ආයෙත් ලාංකික දේශපාලඥ්ඥයන්, රාජ්‍ය සේවකයන් වගේ ලාංකාවේ කන්ටෙක්ස්ට් එකට සෙට් වෙන චරිත ටිකක් සිහි වෙනවා. සෙක්ස්, සල්ලි සහ අරක්කු මත ටර්ක්ලේ ව යටපත් කරන මැක්මර්ෆී රෝහලේ එම වාට්ටුවේ බලතල තම අතට ගන්නවා තාවකාලිකව. දැන් රෝගීන්(?) සිටින්නේ පෙර නොවූ සතුටක. ඔවුන්ගේ රාමුව කැඩී බිඳීයාම නිසා. නමුත් ඒතුළද වෙනස් වූ විකල්ප රාමුවක් ! තියන ආකාරය ෆිල්ම් එකෙන් එළියෙ ඉන්න අපිට වැටහෙනවා. මැක්මර්ෆී පිටව යාමට තිබූ චාන්ස් එකෙන් ගැලවිලා රෝහලේ ම ඉන්නවා. බිඳුනු රාමුව උදේ වෙද්දී රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් ආයේ රාමුගත කරනවා. බිලීගේ මරණයත් සමඟ ක්ශණික කෝපය තුළින් මැක්, ‍රැචඩ් ව මරන්න ට්‍රයි කරනවා. ඔහු ගේ එම අසාර්තක උත්සාහයක් තුළ බිහි වෙන්නේ රෝගී වූ මැක්මර්ෆි කෙනෙක්. පෙර කියූ ලෙස තරුණ නැගිටීම් මට මත්ක් වෙන්නේ මැක් තුලින්. හැබැයි ලංකාවේ නොතිබූ එකක් කුකූස් නෙස්ට් එකේ තියනවා. ඒ චීෆ්. සැඟවුණු ජවය සමඟ ඔහු, මැක්මර්ෆි මරණය වෙත නිදහස්(?) කොට පළා යනවා. One Flew Over the Cuckoo's Nest වෙන්නේ හයිලයිට් නොවූ චීෆ් හරහා.

සිම්බලික් ලේයර්ස් කිහිපයකට යන්න පුළුවන් ෆිල්ම් එකක් කුකූස් නෙස්ට්. මතුපිට රෝහල වගේම රෝහල තුළින් සමාජීය වටපිටාවද දේශපාලනික වටපිටාවද අපට කියව ගන්න පුළුවන් වෙනවා.

අවසානේ ඔක්කොම විකල්පයන් කළ මැක්මර්ෆිත් මේ සිස්ටම් එකේම කෙනෙක් වෙද්දී ස්ලෝ මෝශන් චීෆ් ගැලවිලා පිහාඹල යනවා. හැබැයි මැක්මර්ෆිට සිස්ටම් එකක් නැති කරලා, චීෆ් යන්නේ වෙන සිස්ටම් එකක් හොයාගෙනද....!

-තරිඳු ජයරත්න-

No comments:

Post a Comment