Tuesday, January 17, 2017

Freedom (La Libertad) - 2001


මට, මාව ෆිල්ම් එකක හම්ඹවෙන්න ගන්න එක තමයි සිනමාව තුළ තියන මගෙ ප්‍රියතම වේදනාව. එහෙම ෆිල්ම්ස් හම්බවෙන්නේ සීමිතව. ඒත් ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා මම(අපි) ඊට පස්සේ. අපි ජීවිතේ ටාගර්ට්ස් හොයාගෙන මේ වේගයෙන් යන ජීවිතේ ගැන පොඩ්ඩක් හරි කොන්ශස් වෙන්නේ මේ වගේ 'දෙයක්' දැක්කොත්, ඇහුවොත්. ඒ 'දෙය' ෆිල්ම් එකක්, සිංදුවක් හෝ ඒ වගේ මොනයම් වූ හෝ දෙයක් විය හැකිය. ජීවිතේ කියන නිශ්චිත සාධකය කේන්ද්‍ර කරලා චාපයක් ඇන්ඳොත්, ඒ චාපය තුළ හමුවෙන මිනිසුන්, ජීවීන් හා අනෙකුත් භෞතික සාධක කේන්ද්‍රය තුළට විස්තාපනය වෙන්නේ හරිම සංකීර්ණ සහ ඇතැම් විට පිළිකුල් සහගත විදියකට. අම්මා, අප්පච්චී, අක්කා හෝ නංගී (මා අවිවාහක නිසා අවිවාහක කන්ටෙක්ස් එකෙන් කතා කරමි.) කේන්ද්‍රය වෙත විස්තාපනය වන ප්‍රමාණයට සාපේක්ෂව පසුකාලීනව ජීවිත චාපයට එන මිනිසුන්ගේ කේන්ද්‍රය තුළට විස්තාපනය මේ තාක් සිදුවෙලා තියෙන්නේ සංකේතීය වටිනාකම් ඔස්සේ. මා ඒ මිනිසුන් තුළ දකින වටිනා කමක් නිසා ඇතුළත ගන්නා අතර ඇතැමෙක් එන්නේ මාගේ වටිනාකමට විය යුතු ය. පැවැත්ම යනු එය ය. නමුත් ජීවිතය කියන්නේ මේ අවියෝජනීය සම්බන්ධතා ජාලයේ කෙළවර හුදෙකලා වීම තුළින් අපි හොයා ගන්න ට්‍රයි කරන්න දේ. සියළු සම්බන්ධතා වියැකෙන්න පටන් ගත්තා වූ මොහොතක මෙය දැනෙන්න ගන්නවා. ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණු විට විශ්වාසය පිළිබඳව කැරළි ගසමින් අපි හොයාගෙන යන්නේ සම්බන්ධතාව නැවත ගොඩ නඟන්න. ඒත් ඒ ගොඩ නැඟීම තුළම අයිසොලේට් කැරැක්ටර් එකක් බිහි වෙන්න පුළුවන්. ප්‍රේමයේ විප්‍රලම්භ ශුංගාරය තුළ මිනිසා හිරවීම (අඩු වැඩි වශයෙන් මගේ ආශාව ප්‍රේමයට වඩා වියෝග මානසික තත්වයන් තුළ හිර වීමම, හුදෙකලා කෘති වලට මගේ රුචිකත්වය වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.) සම්බන්ධතා ජාලයේ කෙළවර මුණ ගැසීමේ පෙර සූදානම විය හැක. අපේ ඒ හුදෙකලාවට ඇති ආශාක්ත බව සහ බැඳීම් වල ඇති නිස්සාරත්වය වැටහීම ට හොඳ පූර්වෝපායන් කිහිපයක් ලිසන්ද්‍රෝරෝ අලොස්න්සෝගේ (Lisandro Alonso) Lonely Man Trilogy (Freedom 2001, The Death 2004, Liverpool 2008) හරහා හමුවෙනවා.

සයිමන් කැලය කියන කන්සෙප්ට් එක ගොඩක් පොත් ඇතුළේ විතැන් කරනවා හරිම අපූරුවට. අර්ජන්ටියන් මිනිහෙක් ඒ වගේම කැලය බේස් කරගන්නව ප්‍රකාශනයකට. ඔහු තමයි ලිසන්ද්‍රෝ. ප්‍රකාශනය තමයි "ෆ්‍රීඩම්". "ෆ්‍රීඩම්" කියන්නේම බැඳීම් අස්සේ හිර වෙලා මේ විඳින වේදනාවට හොද මෙඩිසින් මූවි එක ක්. හරියට පිල් එකක් දාල යන ට්‍රිප් එකක් වගේ අපිට ෆිල්ම් එකත් එක්ක දුර ගමනක් යන්න පුලුවන් වෙනවා. ලිසන්ද්‍රෝගේ ටැලන්ට් එක වෙන්නේ මේ පිල් එක කොහොමද ෆිල්ම් එකක් අස්සේ නොදැනෙන්න පොවන්නේ කියන දේ. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ පිල් එකක් වගේ ෆිල්ම් එකක් ඇවිත් නෑ තාම. ලංකාවේ වෙන්නේ ඉන්ජෙක්ට් කරන ෆීල් එකක් එක්ක ප්ලේ වෙන ෆිල්ම්ස්. ටෙම්පෝ එකකට කපා ගන්න නැත්නම් රිදම් එකට ඇක්ට් කර ගන්න, ටෙම්පො එකක ශූට් කර ගන්න සහ අඩු වැඩි වශයෙන් ස්ක්‍රිප්ට් එක සහ ඩිරෙක්ශන්ස් ටෙම්පෝ එකක ප්ලේ කරන්න තාම බැරි වෙනවා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතිං එහෙම ඉන්ඩස්ට්‍රි එකක් තියන රටක ලිසන්ද්‍රෝ වගේ සීරියස් ඩිරෙක්ටර් කෙනෙක් මිස්වෙන එක පට්ට සාධාරණයි. ලංකාවේ අපිට ලිසන්ද්‍රෝගේ ෆිල්ම් එකක් බැලුවත් ඒක කියවගන්න (ෆීල් වෙන්නේ නැති එක) බැරි වෙන එකත් මේ සිටුවේශන්ස් අස්සේ සාධාරණීකරණය කරන්න පුළුවන්.

"ෆ්‍රීඩම්" එකේ මතුපිට කතාව වෙන්නේ ගස් කපලා විකුණන මනුස්සයෙක්ගේ එක දවසක්. දවසක හිස්බව කියන එක අපිට රෑ නිදා ගන්න ගිහින් පොඩ්ඩක් හැරිලා බැලුවම ඒ දවස දිහා, හොඳට වැට හෙනවා. ජයග්‍රාහී යැයි සැලකෙන දවසක් පවා අපිට පස්සේ වෙලාවක හිතෙන්නේ කිසිම දෙයක් නොවූ හිස් දවසක් විදියට. මේ හිස් බව තේරෙන්නේ රෑට මනෝපාරක් ගහගෙන ඉඳිද්දී. ලිසන්ද්‍රෝ ෆිල්ම් එක ස්ටාර්ට් කරන්නේ මේ රෑ, කෑම කන සිටුවේශන් එකේ. හැබැයි ඔහු(ගස් කපන්නා) කන්නේ මස් පුච්චගෙන. කැලේම එළියේ. පසුබිමින් අකුණු ගහනවා. ඒ අකුණු එලියෙන් තමයි විශුවල් එක ටිකක් හරි ඩීටේල්ස් වෙන්නේ. ඒ මිනිත්තු කිහිපයේ සිටුවේශන් එකම ජීවිතේ හිස් බව ඇතුළේ කැරලි ගහන්න අපිව පොළොඹවනවා. එන යන දේවල් අකුණු අස්සේන් විශුවල් වෙද්දී, එන දේවල් යන්නේ ආලෝකයට වඩා වේගෙන් කියන එක තේරෙන්නේ ෆිල්ම් එකේ එන්ඩ් එකේදි. හැමදාම පවතින්නේ කළුවර මිසක් සැරෙන් සැරේ පත්තු වෙන එළිය නෙවේ කියන එක.

උදේ ඔහුගේ දෛනික ජීවිතය පටන් ගන්නවා. ගස් කපනවා. ඒවා ප්‍රවාහනයට පුළුවන් ආකාරයට සකස් කරනවා. ඒ අතරේ ඔහුගේ ශරීර කෘත්‍යයන් පවා ෆිල්ම් එකෙ ගේන්න ලිසන්ද්‍රෝ සමත් වෙනවා. ඒ පුංචි පුංචි ඩීටේල් එකකින්ම දවසක දින චර්‍යාව පෙන්නන්න ඔහු උත්සාහ කරනවා. හැමදාම වෙන්නේ මේක නේද කියන එක. ඔහු ජීවත් වෙන ස්පේස් එක පවා අටවගනිපු කූඩාරමක් වගේ එකක්. ඔහු කන්නෙත් අල වගේ දෙයක් තම්බලා. පිටින් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ලක්සරි අපාර්ට්මන්ට් එකක හරි ලක්සරි ගෙදරක ඉඳලා, හොඳ කෑම වර්ග කන මනුස්සයට මේ හිස්බව (emptiness) එක නෑ නේද කියල. ඒත් කැමරාවට ඒ ලක්සරි එක සහ ෆයිව්ස්ටාර් කෑම වේලක් හරහා හිස්බව ගේන්න අමාරුයි. ලක්සරි බැක්ග්‍රවුන්ඩ් එක කියන්නේ මේ හිස් බවට දාන ලස්සන කවර් එකක්. කැමරා ට්‍රීට්මන්ට් එකකින් ඒක ගලවනවා කියන්නේ හරිම කම්ප්ලිකේටඩ්. හිල්ටන් එකෙන් කාල රෑට නයිට් ක්ලබ් ගිහින් එළිවෙනක්ම් නටන මනුස්සයට වෙන්නේ හිස්බව කොන්ශස් නැති වෙන එක මිසක් ඒ මනුස්සයව හිස්බව විසින් වෙලාගෙන නෑ කියන එක නෙවෙයි. ඒ නිසා ෆ්‍රීඩම් ලක්සරි ලයිෆ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අටවගෙන ඉන්න කූඩාරම ම තමයි අර ලක්සරි ගෙදරක ඉන්න මිනිහගෙ හිතේ තම නිවස පිළිබඳ අයිඩියා එක. අර අල ම තමයි ඔහුගේ හිල්ටන් කෑම වේලෙන් එන රහ. දෙකම ෆෝකස් වෙන්නේ එකම ක්ශුද්‍ර වූ හිස්බවට.

ෆ්‍රීඩම් එකේ පුද්ගලයාට මිනිස් සම්බන්ධතාවක් මුණගැසෙන්නේ ලී ගෙනියන්න එන අතරමැදි මුදලාලී හරහා. ඒ ඔස්සේ විවර වෙන සම්බන්ධතාවයේ පදනම වැටෙන්නේ ඔහුගේ ව්‍යාපාර හෙවත් අය-වැය නැත්නම් මූල්‍ය වාසියක් තකා පමණි. ඔහු හා බල්ලා අතර සම්බන්ධයද හමුවන්නේ මුදලාලි හරහා පමණි. සතුන් හා විවෘත වීමට උත්සාහ කරන තත්ව යටතේ මිනිසාගේ පැවැත්ම මිනිසා තුළට වඩා මේ වන විට විතැන් වෙන්නේ තිරිසන් සත්වයකු තුළ. මිනිසාගේ විශ්වාසණීත්වය හා මිනිසත් බව නැසී යාම එයට හේතු විය හැක. ඔහුගේ ව්‍යාපාර ඔස්සේ නගරය හරහා ඔහු ගෙදර හා සම්බන්ධ වීමට සූදානම් වේ. ඔහු මව හා සම්බන්ධවෙන්නේ ද වෙන පණිවිඩකරුවකු හරහා ය. මානූශීය සම්බන්ධතා කෙතරම් දිය වී ගියද මව-දරුවන් සම්බන්ධතාව බිඳ හෙලීම අසීරු ය. නමුත් ඔහුට (මේ වෙද්දී අඩු වැඩි වශයෙන් අප සියල්ලට ම) මව යනු යුතුකමක කොටසක් පමණක් වී අවසානයි. ඔහු ගෙදර ට කෝල් කරන්නේද මේ දුරස්ථකරණය මත පිහිටා ය.

ඔහු තම ලී විකුණා නැවත කැලෑව වෙත පැමිණේ. ඔහු එන ගමන් "ඈයා" කියන සතා දඩයම් කරගෙන පැමිණේ. ඈයා තරමක් ගණ කට්ටක් තිබෙන සතෙකි. ඔහු උණුවතුර දමා දිය කිරීමට තැත්කොට සතාව පුළුස්සා කෑමට ගනී. මේ මොහොතේ අපි ට කෑම පිඟාන, ලුණු වතුර ටිකක් ඉසූ අලගෙඩියකින් හා පිළිස්සූ ඈයෙකුගෙන් වෙනස් වෙන්නෙ කෙසේද කියා සැලකිළිමත් වීම වැදගත්‍ ය. ඉතාම අඩු මිලකට, මිනිත්තු දෙකෙන් හදා ගන්න පුළුවන් නූඩ්ල්ස් එකක් දක්වා කෑම එක අපිට මේ වෙද්දි සමීප වී හමාරයි. නමුත් මිනිත්තු දෙකේ නූඩ්ල්ස් එක වගේම ඈත ගමක පැයක් දෙකක් මහන්සි වී හදන කෑම වට්ටෝරුවත් වෙනස් වෙන්නේ වෙලාවෙන් හා පෝෂණයෙන් පමණකි. පිළිස්සූ ඈයා, ක්ශනික නූඩ්ල්ස්, ගැමි ආහාර වේලක් සහ ෆයිව්ස්ටාර් ආහාර වේලක් අතර ගට්ඨනය ජීර්ණය වීමත් සමඟ ෆෝකස් වෙන්නේ එකම තැනකට. ඒ සියල්ලම දුවන, ගමන් කරන, පියඹායන, පිහිනා යන, බඩගා යන හිස් බවක් වෙත.

ඔහු මේ ඈයා පුළුස්සමින් කන සීන් එකම තමයි ෆිල්ම් එකේ ස්ටාර්ටින්ග් සීන් එක. ඒ වගේම එන්ඩ් සීන් එකත් ඒකමයි. ඈතින් අකුණු එළි අස්සේ ඩීටෙල් වෙන රූප රාමුවක් දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න අපිට ෆ්‍රේම් එකේ තමන්ව පේන්න පටන් ගනවා. පිටින් පත්තු වෙන එළි අස්සේ තමන්ගේ ජීවිත සාධක දුවද්දී සැමදා තමන් ලඟ ඉඳල තියෙන්නේ මේ නියත කළුවර පමණයි කියන එක මතක් වෙනවා.

අපේ කැපෑසිටි එකටම හිතන මිනිහෙක් හම්ඹවෙනව කියන්නේත් හරි සුන්දර අහඹුවක්. මගේ දෙවැනි ශෝර්ට් ෆිල්ම් එකේ කන්සෙප්ට් එකයි ලිසන්ද්‍රොගෙ ෆ්‍රීඩම් එකයි ගොඩක් ළඟයි. මගේ ෆිල්ම් එකේ පිච් එකත් ඉවර වෙලා ප්‍රොඩක්ශන් එකට තිබුණු සංක්‍රාන්ති කාලෙක තමයි මම ෆ්‍රීඩම් බලන්නේ. ඒ නිසා හිත අස්සේ ඒ අහඹුවේ සුන්දරත්වය එහෙමම තැන්පත් වෙනවා ස්ක්‍රිප්ට් එක ලියන්න කලින් ෆිල්ම් එක නොබැලීම පිළිබඳව. මේ වෙද්දී, මගේ උතෝපියානු ෆිල්ම්ස් කිහිපයෙන් එකක් වෙනව "ෆ්‍රීඩම්".

තවදුරටත් මේ විදියට හිස්බව ඇතුළේ විතැන් වෙද්දී, කපුගේ මෙහෙම කියනවා හිත ඇතුළේ ඈත කෙළවරක ඇහෙනවා.

"ජීවිතය ඉතිං අපේ සිහිනයක් නොවේ 
හෙට උදේම අවදි වී යායුතුව තිබේ"

හිස්බව දැනුනත් 'ජීවිතය නම් අරගලයට', ෆිල්ම් එක ක්ලෝස් කරල අපිට මුහුණ දෙන්න වෙනවා. හැබැයි වේගයෙන් දුවද් දී මොහොතක් නැවතිලා බලන්න දුවන්නේ කොහෙටද කියලා.

-තරිඳු ජයරත්න-

No comments:

Post a Comment