Thursday, January 5, 2017

Womb - 2010

 

ඕඩිනරි ලව් එකක් ඇති වෙන්නේ, ප්‍රථමයෙන් රූපමය සාධක මත. මුලින්ම දැකපු වෙලාවේ, ඒ භෞතික සිරුරට තමයි ලොල් බැඳ ගන්නේ. ඇස් වලට, මූණේ ලප වලට වගේ අනු සාධක ඔස්සේ ප්‍රේමය ගමන් ගන්නවා ඊට පස්සේ. ඒත් කල්යද්දි තමයි ඉනර් එකට (personality එකට) ලව් කරන්නේ පටන් ගන්නේ. ඉන් පසු පෙම්ව්තුන් ලෙස හෝ අහිමි පෙම්වතුන් ලෙස ඔවුන් පවතිනවා. නමුත් සේපියෝසෙක්ශුවල් (Sapiosexual - a person sexually attracted to intelligence in others) කියන්නේ භෞතිකත්වයෙන් එහා ගියපු ආදරයක්. පාරිභෝජන සමාජයේ මේ වෙද්දි අපිට එහෙම සම්බන්ධතා හොයා ගැනීමට අපහසු උනත් ඉඳහිට හෝ හමු වෙන වෙලාවල් තියනවා. කොහොම උනත් බෙනඩික් ෆ්ලිගෆ් (Benedik Fliegauf) ගේ 'වූම්බ්' (Womb -2010) වගේ ‍ෆිල්ම් එකකට එද්දි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න වෙන්නේ ඕඩිනරි ලවු එෆයර් එකක් ගැන. ඒත් ඒ තුළ තියන සදාකාලික බව පොලා පනිනවා ඉබේම. වූම්බ් කියන්නේ ප්‍රේමය යතාර්තයක් බවට පත්කර ගන්න පුළුවන් ද කියන එකට නිදර්ෂකයක්.

වයස අවුරුදු 8-9 වගේ ගැහැණු ළමයෙක්(රෙබෙකා) හා පිරිමි ළමයෙක්(‍තෝමස්) අතර ඇතිවෙන ආකර්ශනයක් එක්තරා සීමාවකින් එහාට යන්න බැරුව නවතිනවා. හැබැයි පස්සේ කාලෙක ඒ ගෑණු ළමය ආයේ එනවා. ඇය දැන් තරුණියක්. ඔහු තරුණයෙක්. කාලය තුළ සැඟවිලා ගියපු ඒ හැඟීම් ආයේ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ඒ හැඟීම් බිල්ඩ් වෙන්නේ භෞතිකත්වය ඔස්සේ. හැබැයි පසු කාලෙක ගැහැණු ළමයා (Ruby O. Fee) තරුණියක් වෙලා (Eva Green) එද්දි, ඇය හොයාගෙන එන්නේ කුඩා පිරිමි ළමයා (Tristan Christopher) ව ද නැත් නම් තරුණයෙක් (Matt Smith) ව ද කියන එක විසඳගන්න වෙන්නේ අපිට. ඇය තුළ හා ඔහු තුළ අවුරුදු 12කින් නොදැකපු ඔවුනොවුන්ගේ ඉමේජ්ස් කලර් කරන්නේ අපි. මට සාපේක්ෂව ඇය හොයාගෙන එන්නේ ඒ කාලේ මතකයෙන් Pause වුණු ඒ කුඩා ‍තෝමස්. හැබැයි ඇයට හමු වෙන්නේ තරුණ ‍තෝමස්. අඩු වැඩි වශයෙන් ‍තෝමස් පවා බලාපොරොත්තු වෙන්න ඇත්තේ, කුඩා රෙබෙකා. හැබැයි ඔහුටත් මුණගැසෙන්නේ තරුණ රෙබෙකා.

නමුත් ඔවුන්ගේ හමු වීම තාවකාලිකයි. ‍තෝමස් මැරෙනව ඇක්සිඩන්ට් එකකින්. සිනමාවේ කොහොමද සවුන්ඩ්ස් වලින් විශුවල්ස් මවන්නේ කියන එකට හොඳම උදාහරණයක් ඒ සිදු වීම.  ‍තෝමස්ගේ මරණයත් එක්ක ආයෙත් රෙබෙකාට තමන්ව (තමන්ගේ ප්‍රේමය) අහිමි වෙනවා. ඇය ඉන්පස්සේ තමන්ගේ අහිමි පෙම්වතා නැවත උප්පද්දවන්න ක්ලෝනීකරණය මගින් උත්සාහ ගන්නවා. ක්ලෝනික ‍තෝමස් කෙනෙක් උපදිනවා. ප්‍රේමය තුළ ගැහැණිය සහ මිනිහා අර්බුධයට යන්නේ මේ අවස්තාවේ. අපි ප්‍රේමය කියල බලාපොරොත්තු වෙන්නේ මේ භෞතික සිරුර පමණක්ම ද, නැත්නම් ඒ තුළ තියන ඉන්ටලිජන්ස් කොටසත් එක්ක ද කියන එක ඉතුරු වෙනවා.

කුඩා ක්ලෝනික ‍තෝමස් සෙමෙන් සෙමෙන් වැඩෙන්න ගන්නවා. රෙබෙකා දකින්නේ කලින් පොඩි කාලේ දැක්ක ‍තෝමස් (Tristan Christopher) ව. නමුත් රෙබෙකා වැඩිහිටි කාන්තාවක්. සහ ඇය මේ ක්ලෝනික ‍තෝමස්ගේ මව. ඇය මතකයෙන් Pause වූ කුඩා ‍තෝමස් හරහා ඇයගේ ළමා කාලය සහ වර්තමානය එක්ක ස්ට්‍රගල් එකක් පටන් ගන්නවා. ඇය තම පුතු තුළින් දකින්නේ අර ‍තෝමස්. හැබැයි මේ තම පුතා. පුතා කියන්නේ සැබෑ ‍තෝමස්ගේ සිරුර පමණක් භෞතිකයක් ලෙස උරුම වූ ජීවියෙක්. ඉන්ටලිජන්ස් දෙකක්. සිනමාවේ නිර්මණ කිහිපයක ම මව-පුතු (Oedipus complex) ලිංගික උත්ප්‍රේරක අවස්ථා ගේන්න බාත් ටබ් එක යූස් කරන්වා. ඒක ප්‍රසිද්ධ ශොට් එකක් වෙලා දැන්. හඳගමගේ අක්ෂරය, ජොනතන් ග්ලේසර්ගේ බර්ත් සහ බෙනෙඩික්ගේ වූම්බ් අඩු වැඩි වශයෙන් බාත් ටබ් එක යූස් කරනවා.('බර්ත්' මව-පුතු අතර සම්බන්ධය නොවුනත් වැඩිහිටි-ගැටවර සම්බන්ධය දිස්වෙනවා)

ක්ලෝනීකරණය මඟින් මිනිහෙක් (ජීවයෙක්) උපැද්දූ විට අපේ ඔලුවෙ තියන ඉමේජ් එක ඒ ක්ලෝනය හරහා මතු කර ගන්න පුලුවන්. ඒත් මනස කියන දේ සහ අපි බලාපොරොත්තු වෙන මනස (ඉන්ටලිජන් එක) කොහොමද ඒ ක්ලෝනයට ඇප්ලයි කර ගන්නේ. රෙබෙකා තම මිය ගිය පෙම්වතාට සමාන ක්ලොනික පෙම්වතෙක්(?) ගොඩ නඟනවා. ඇය ඇද බැඳ ගත් ‍තෝමස් (සිරුර) ව. නමුත් ක්ලෝනික ‍තෝමස්ට කොහොමද සැබෑ ‍තෝමස්ගේ ඉන්ටලිජන්ස් ඇප්ලයි කර ගන්නේ කියන අවුලේ රෙබෙකා හිර වෙනවා. අපට තව දුරට ත් අපේ ආදරවන්තයා හෝ වන්තියගේ සිරුර නිර්මාණය කිරීමේ අර්බුධය නැතිව යනව. ඒත් ප්‍රේමය කියන්නේ සිරුර නෙවෙයි කියන එක වලංගු සාධකයක්. අපේ ෆැන්ටසිමය සිරුර පමණක් ක්ලෝණයක් හරහා ගොඩ නැ‍ඟෙනවා.  අපිට Pure Love එක ක්ලෝනයක් හරහා හමුවෙන්නේ නෑ.

වැඩිවියට පත්වෙන ක්ලෝනික ‍තෝමස් දකින මැදිවියේ රෙබෙකාගෙ, ඉන්සයිට් එක සංකීර්ණ ලේයර් එකක තියෙන්නේ. ඇය ලිංගිකත්වය මුසු වූ ආශාවකින් තමයි ක්ලෝනික ‍තෝමස් දිහා බලන්නේ. ක්ලෝනික ‍තෝමස්ට පෙම්වතියක් ඉන්නවා. හැබැයි රෙබෙකා (මව) ඒ දෙදෙනා අතරට එන්නේ ඉතාම ක්ෂුද්‍ර ආකාරයට. එනව එන්නේ නෑ වගේ. නමුත් කෙසේ හෝ ක්ලෝනික ‍තෝමස් තුළට රෙබෙකා රොමැන්ටික් ලෙස ඇතුළු වෙනවා. ඔවුන් ලිංගික සම්බන්ධතාවයක් දක්වා දුර යනවා. මව-පුතු අතර ඇතිවන ව්‍යාභිචාරවත් ලිංගික හැසිරිමකට වඩා මට ඒක පේන්නේ කාලයක් තිස්සෙ තම පෙම්වතා හමුවෙනකම් සිටි ගැහැණියකගේ නිමානොවන ප්‍රේමාන්විත ආශාවක් විදියට. අවිඥාණිකව 'කොළරා කාලේ අලේ' මතක් වෙනවා.

දැනෙන-හියුමන් ටච් එකක් තියන සයන්ස් ‍ෆික්ශන් එකකට හොද උදාහරණයක් 'වූම්බ්'. කොහොමද සයන්ස් ‍ෆික්ශන් එකකින් මිනිස් හැඟිම් අහුමුලු ඔස්සේ සැරි සරන්නේ කියන එක බෙනෙඩික් සාරථකව ජය ගන්නවා. අනික 'වූම්බ්' එකේ සිනමැටොග්‍රැ‍ෆි විශිශ්ට මට්ටමක තියනවා. පේන්ටින්ග්ස් ටිකක් දිහා බලන් ඉන්නව වගේ නිවුණු හැඟීමක් එනවා. ‍ෆිල්ම් එකේ තියන අහිමි වීම සහ ඔවුන්තුළ ගොඩනැ‍ඟෙන කෘතීම ජීවිත ගට්ඨන වගේ දෙවල්වලට සිනමැටොග්‍රැ‍ෆි ප්‍රභල ලෙස දායක වෙනවා. අනික සවුන්ඩ් ඩිසයිනින්ග්. ගොඩක් වෙලාවට ‍ෆිල්ම් එකේ කතාව ෆීල්වෙන්නේ සවුන්ඩ්ස් හරහා. තොමස්ගේ ඇක්සිඩන්ට් එක සමීපම උදාහරණයක්.

හැම මිනිහෙක්ම ට්‍රයි කරන්නේ 'අහිමිවීම්' කියන එක නැති  කරගන්න. ඒක තමයි මිනිස්සු හැමෝගෙම ආශාව සහ උවමණාව. මේ වෙද්දි 'අහිමිවීමක' එක්තරා කොටසක් විද්‍යාත්මකව ජය ගන්න පුලුවන් වෙලා තියනවා. වූම්බ් හරහා මතුපිටින් අපිට එත්තු යන්නේ ඒක. ඒත් ප්‍රේමයේ ශුද්ධ වූ ප්‍රදේශය ට යාමට විද්‍යාවට හැකි වේද කියන තැනින් ‍ෆිල්ම් එක අපි තුළ ප්‍රශ්ණාර්ථයක් එක් කරනවා. තවදුරටත් අහිමි වීම් කියන්නේ සුන්දර උත්තේජයක් ද නැත්නම් රෙබෙකා වගේ  අහිමිවීමට ආදේශකයක් සොයා ගැනීමද. හමුවීමක් කියන්නෙම වෙන්වීමක් තියනව කියන එක. ඉතිං වෙන් වීමට සතුටින් මුහුණ දෙන්න. 'ක්ලෝනයක්' කියන්නෙත් තාවකාලික එක්වීමක් විතරයි. ඒ නිසා සැබෑ හමුවේ සුන්දර මතකයන් සමඟ තනි වෙන්න.

-තරිඳු ජයරත්න-

No comments:

Post a Comment