Tuesday, January 16, 2018

Mrs. Fang - 2017


"ඔබ මට සිහි වෙයි
දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය 
මැදියම් ‍රැය විය හැක,
කාලය ගලා නොයයි,
විශ්වය නිශ්ශබ්දය."

-නොමියෙමි : සේකර

මරණය ගැන මට තියෙන්නේ කාංසාසහගත අවබෝධයක්. ඒක සෞන්දර්‍යාත්මකව විශ්ලේශනය කරනවට වඩා වේදනාබර කාංසාවට මං කැමතියි. 2017 අවුරුද්දේ ගොඩක් සමීප මරණ දෙකක් සිදු වුණා. එකක් ලොකු මාමා. අනික ආත්‍තම්මා. මේ දෙකම කාලානූරූපීව මරණ වෙත විතැන් වෙලා සිදුවුණු සිදු වීම්.

මරණයක සැබෑ අරුත වෙන්නේ ආයේ ඒ ජීවියා අපිට සැබෑ ලෙසම දකින්න බැරුව යාම. මරණයකින් පස්සේ තියෙන්නේ මතකයන් ගොඩක් විතරයි. ළඟම කෙනෙක්ගෙ වෙන්වීමක් ගොඩක් වෙලාවට දැනෙන්නේ ආයේ එයා අපි ගාවට එන්නේ නෑ. එදා වගේ ලඟට ඇවිත් කතා කරන්නේ නෑ වගේ, සිතුවිලි කිහිපය පමණයි. හැබැයි කොන්චස් වුණාම ඒ සිතුවිලි මාර ගැඹුරුම තැනකට කිඳා බහිනවා. සැන්ඩි නොකරපු විස්කි වඩියක් මහා අන්ත්‍ර කුඩා අන්ත්‍ර පහු කරගෙන යනකොට දැනෙන වේදනාව වගේ එකක් මේ සිතුවිලි සිතේ ගැඹුරට යද්දී දැනෙන්නේ. සෞන්දර්‍යාත්මක වේදනාවක්. ඒ වේදනාවත් අරක්කු වගේ පීඩාකාරීයී. ඒත් මත් වෙන සුන්දරත්වය වගේ කංසාසහගත මරණීය සිතුවිලිවලට අපි කැමතියි.

මිසිස් ෆැන්ග් ( Mrs. Fang -2017) කියන්නේ 2017 ගෝල්ඩන් ලෙපර්ඩ් ගත්ත ෆිල්ම් එක. මේක බින්ග් වැන්ග් (Bing Wang) කියන චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ශකවරයගෙ ෆිල්ම් එකක්. ෆැන්ග් මැතිනියගෙ අවසාන දවස් කිහිපය තමයි ෆිල්ම් එකේ දුවන්නේ. ඩොක්‍යුමෙන්ට්‍රි සහ ෆික්ශන් කියන බෙදීම දැන් ගොඩක් අඩුවෙලා තිබ්බත් තාම මේකේ ශෝනර් එක විදියට තියෙන්නේ ඩොක්‍යුමෙන්ට්‍රි කැටගරි එකේ. ඇත්තම ෆැන්ග් මැතිනිය මිය යන දවස්ටික ශූට් කරපු එක තමයි ෆිල්ම් එක. ඇත්තම දවස් ටික. ඇත්තම මොහොතවල්. මරණ මංචකයේ ඉන්න කෙනෙක්ට, තව ටිකකින් මරණය වැලඳ ගන්න සූදානමින් ඉන්න එක කොහොමද කියල දැන ගන්න වෙන්නේ මරණ මංචකයේදිම තමයි. අපිට එළියෙ ඉදල කියන දේ අපේ ඉන්ටප්‍රිටේශන් එක මිසක් ඒ පුද්ගලයගෙ හැඟීම නෙවේ. හැබැයි මරණය කියන කන්සෙප්ට් එකේ තියන වේදනාව (පශ්චාත් වේදනාව) එන්නේ මැරෙණ කෙනාට වඩා ජීවත්ව ඉන්න කෙනාට. මරණය මරණයක් වෙන්නේ ජීවත් වෙන කෙනාට. මරණ මංචකයේ ඉන්න කෙනෙක් එක්ක දවස් දෙක තුනක් ගත කරන එක පොඩි මෙඩිටේශන් එකක් වගේ. හැබැයි ඉන්නේ කොයි වෙලේ මැරේවිද කියල බලාපොරොත්තුවකින්. අඬන්න. මෙඩිටේශන් එක ටාගට් එකක්. දුක ළං වීමක්.

බින්ග් වැන්ග් කියන්නේ ටිකක් අමුතු ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම තව පොරක් ඉන්නවා පිලිපීනේ. 'ලව් ඩයස් (Lav Diaz)'කියලා. දෙන්නා ටිකක් එක වගේ. මිනිමලිස්ටික්  ප්ලොට් එකක් එක්ක ගොඩක් දිග සීන් එක්ක තමයි ‍ෆිල්ම් එක පුරා අපිව අරන් යන්නේ. බින්ග් වැන්ග් එළියට 2002 දී "වෙස්ට් ඔෆ් ට්‍රැක්ස්' (Tie Xi Qu: West of the Tracks - 2002) කියන පැය 9ක් දිග ‍ෆිල්ම් එකත් එක්ක. කොටස් තුනකින් දුවන ‍ෆිල්ම් එක, සියවසක හුවමාරු වීම (1999 සහ 2001) සහ චීන ජාතිකයන් ටච් කරනවා. ඔහුගේ දිගම ‍ෆිල්ම් එක මේක නෙවේ ඇත්තටම. ඔහු 2008 දී 'කෲඩ් ඔයිල් (Crude Oil - 2008)' කියල පැය 14 ක ‍ෆිල්ම් එකක් කරනවා. කොහොම හරි ලව් ඩයස් වගේ බින්ග් වැන්ග් චීනෙ ඉදන් සිනමාව පැය එක හමාර දෙකෙන් ගලවලා ජීවිත කාලයෙන් සැලකිය යුතු ප්‍රමානයක් ‍ෆිල්ම් එකට ගන්නවා. ඒත් එක්ක ‍ෆිල්ම් එක අපෙන් එළියේ නැතුව ඇතුලෙම තැනක රෝපණය කරනවා.

"'හව් ‍ටු රීඩ් විට්ගන්ස්ටයින්' කෘතියේදී ගොට්ලොබ් ෆ්‍රෙජ් මෙසේ කීවේය. 'ඔබේ පොත කියවීමේ ප්‍රීතිය පැන නගින්නේ මා කලින්ම දන්නා එයි අන්තර්ගතයෙන් නොවේ. එයට ඔබ දී ඇති සුවිශේෂී ආකෘතිය නිසාය. ඒ නිසාම ඒ පොත් විද්‍යාත්මක කෘතියක් නොව කලා කෘතියකි.' එපමණක් නොව දැන් ඒ කෘතියෙහි අන්තර්ගතයද, ඔහු දැන සිටියේ යැයි සිතූ අන්තර්ගතයද, වඩාත් අපූර්ව ස්වරූපයක් ගෙන ඔහු හරියටම දැන සිටියේ යැයි කිව නොහැකි අන්තර්ගතයක් බවට පෙරළී ඇතැයි ෆ්‍රෙජ් කිව යුතුව තිබුණි."

- අළු පැහැති ආරංචි : ලියනගේ අමරකීර්ති


අළු පැහැති ආරංචි පොත පටන්ගන්න කලින් අමරකීර්ති එහෙම කියනවා. ආකෘතිය ගැන හොද ඉන්ට්‍රප්‍රිටේශන් එකක් ඒකේ තියනවා. මිසිස් ෆැන්ග් ‍ෆිල්ම් එකේ අන්තර්ගතය අපි දැන් දන්නවා. ඒත් ‍ෆිල්ම් එකක් කියන්නේ කාලය සහ අවකාශය තුළ අපිව අරන් යන ට්‍රිප් එකක්. ඒක ප්ලොට් එක දැන සිටීමට වඩා වෙනස්.  එකම ‍ෆිල්ම් එක දෙතුන් පාරක් බැලුවත් යන්නේ පොඩි හරි වෙනස් කමක් තියන ට්‍රිප් එකක්. මරණය ගැන අපි හැමෝම දන්න කාරනය තුළ දන්නේ නැති වෙනස්ම ෆීල් එකක් දැනෙන්න ගන්න පුලුවන් හොඳ පිල් එකක්; 'මිසිස් ෆැන්ග්'.

'මිසිස් ෆැන්ග්' කියන පිල් එක දැම්මම පටන් ගන්නේ හරිම සීතල හැඟීමකින්. ඒ සීතල හැඟිමත් එක්ක පටන් ගන්න බෝරිංනස් එක ‍ෆිල්ම් එක බලන් ඉන්න අමාරුවෙන තරමට තියනවා. ඒත් ඒ අමාරුව තමයි ලයිෆ් එකේ අවසානය වෙත හෝ ඩෙත් එකේ ආරම්භය වෙත අපිව අරං යන්නේ. පේන්න කිසිවක් නොවන තැන ඇතුලේ ගොඩක් දේවල් වෙනවා. එක්ස්ට්‍රා කැ‍රැක්ටර්ස් හැමවෙලේම මාරු වෙනවා. ෆැන්ග් මැතිනිය විතරක් එකම තැන ඉඳගෙන ටික ටික මරණයට ළං වෙනවා. ඒක ඇතුලෙන් වෙන ප්‍රොසෙස් එකක්.  කිසිවක් වෙනවා කියලා පේන්නේ නැති ප්‍රොසෙස් එකක්. ‍ෆිල්ම් එකේ ඩියුරේශන් එක ඉවර වෙද්දිම අපිට දැනෙනවා මොකක්දෝ වෙනවා. ඒක වචනවලට හරවන්න බැරි අමුතු හැඟීමක්.

ඔබ මට සිහි වෙයි

දහසක් ගිලනුන් මිය ගිය
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි

ඒ දහසක් ගිලනුන්ගේ 
ප්‍රාණ වායු
මෙතෙක් මෙලොව ඉපිද මැරුණු
අසංඛ්‍ය ප්‍රාණීන්ගේ
ප්‍රාණ වායු
මා හද තුළට පිවිස
මොහොතක් නතරව හිඳ
සුසුමක් සේ 
පිට වී යයි.

කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්ධය.

-නොමියෙමි : සේකර


-තරිඳු ජයරත්න.



No comments:

Post a Comment